Kasun Rajapaksha

Kasun Rajapaksha

Share

19/06/2026

අසීමාන්තික ආදරය සහ නොසලකා හැරීමේ මනෝවිද්‍යාව

ජීවිතයේ අප මුහුණ දෙන ඇතැම් සත්‍යයන් කොතරම් පරස්පර විරෝධීද යත්, සාමාන්‍ය බුද්ධියට ඒවා තේරුම් ගැනීම පවා අපහසුය.

බොහෝ දෙනෙක් නිතරම පවසන, අත්දකින එක්තරා කටුක සත්‍යයක් තිබේ. එනම්, මිනිස්සු වඩාත්ම රිද්දන්නෙ, අපහසුතාවයට ලක් කරන්නේ සහ නොසලකා හරින්නේ තමන්ට වඩාත්ම ආදරය කරන මිනිස්සුන්වය.

🧠මෙය ඇයි කියා ඔබ කවදා හෝ සිතා බලා තිබේද? ඒ පිටුපස ඇත්තේ පුදුමාකාර මිනිස් මනෝභාවයකි.

🤜මිනිසුන් ආයාසයෙන් ලැබෙන දේට ලෝභ ඇයි?

මිනිස්සු ස්වභාවිකවම අසීමාන්තිකව, නිරන්තරයෙන් ලැබෙන දේවල් නොසලකා හරිති. එය මිනිස් මනසේ ඇති බලවත් දුර්වලතාවයකි. මිනිස්සු වැඩියෙන්ම අගය කරන්නේ ආයාසයෙන්, මහන්සියෙන් හෝ පොරබදමින් ලබාගන්නා දේවල්ය.

යමක් පහසුවෙන් සහ ඕනෑවට වඩා ලැබෙන විට එහි ඇති අගය මනසින් ගිලිහී යයි. මනෝවිද්‍යාවේ එන හිඟකමේ මූලධර්මය මඟින් පෙන්වා දෙන්නේ ද මිනිසා සැමවිටම යමක වටිනාකම තීරණය කරන්නේ අදාළ දේ ලබාගැනීමට ඇති අපහසුතාවය මත පදනම්ව බවයි.

සැමවිටම නොමිලේ ගලායන ජල උල්පතක අගය නොදන්නා මිනිසා, කාන්තාරයකදී දිය බිඳක් වෙනුවෙන් ජීවිතය වුවද පූජා කිරීමට සූදානම් වන්නේ මේ නිසාය.

🫵ප්‍රතික්ෂේප කිරීමට වඩා දරුණු උපක්‍රමය..

ඔබ කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වීමට ඇතැම් විට ඔබ අතින් සිදුවන වරදකටත් වඩා, ඔබ විසින් කරනු ලබන අසීමාන්තික ආදරය හේතුවන බව ඔබ කවරදාක හෝ සිතා ඇත්ද?

අනෙක් අතට, ඔබට කෙනෙක්ගෙන් ඈත් වෙන්න, නැතහොත් කෙනෙකුව ඔබේ ජීවිතයෙන් සදහටම මුදවාලන්න අවශ්‍ය නම් කරන්න ඕන එයාව ප්‍රතික්ෂේප කරන එක නොවන බව ඔබ දන්නවාද?

මන්ද, ප්‍රතික්ෂේප කිරීම් හමුවේ මිනිස්සු තව තවත් ලං වීමට උත්සාහ කරන බැවිනි..

ඒ වෙනුවට ඔබට කළ හැකි උපක්‍රමශීලී මෙන්ම දරුණුතම දේ වන්නේ, අනෙකාට ජීවිතේ කවරදාකවත්, කිසි ලෙසකින්වත් තවත් අයකුගෙන් ලබා ගත නොහැකි තරමේ අසීමිත ආදරයක් සහ අවධානයක් වීමයි.

ඔහු හෝ ඇය වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටින එකම පුද්ගලයා ඔබ වීම.

එයාගෙ මැසේජ් එකක් කොයිම මොහොතකවත් පිළිතුරක් නැතිව තියන්නෙ නැතුව ක්ෂණිකව රිප්ලයි කිරීම.

එයාගෙ කෝල් එකක්වත් මිස් නොකර ක්ෂණිකව Answer කිරීම.

එයා උදව්වක් ඉල්ලුවොත් ඒ හැමදේම තමන්ගේ උපරිමයෙන්ම ඉටුකර දීම.

🧠 මොළය ඇතුළේ සිදුවන ජෛවවිද්‍යාත්මක සෙල්ලම

මනෝවිද්‍යාත්මකව මෙහිදී සැබෑවටම සිදුවන්නේ අනෙක් පුද්ගලයාගේ මොළයේ ඇති Dopamine (සතුට, උනන්දුව සහ කුතුහලය ඇති කරන හෝමෝනය) ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අඩපණ වීමයි.

මොළය ඩොපමින් නිපදවන්නේ යම් දෙයක අවිනිශ්චිතතාවය සහ කුතුහලය පවතින තාක් පමණි. ඔබ සැමවිටම ක්ෂණිකව ප්‍රතිචාර දක්වන විට, ඔබ සියල්ලෙන්ම අනෙකාට විවෘත වන විට ඔබ ගැන ඇති අභිරහස් බව නැති වී යයි.

ඔබ කවදාවත් ඔහුව මඟහරින්නේ නැති බව වැටහෙන විට, ඔහු තුළ ඔබව සුළුකොට තැකීමේ සහ මම කුමක් කළත් මෙයා මාව දමා යන්නේ නැත යන ව්‍යාජ, අහංකාර ආරක්ෂිත හැඟීමක් නිර්මාණය වේ.

🫵අවසාන ප්‍රතිඵලය

ඔබ ලබාදුන් ඒ අසීමිත ආදරය සහ උපරිම පෙනී සිටීම
නිසාම ඔහුට ඔබව "එපා වීම" හෝ "නොසලකා හැරීම" ආරම්භ වේ.

ඔබ සීමාව ඉක්මවා ආදරය කළ නිසාම ඔහු ඔබෙන් ඈත් වී, ඔහුට/ඇයට අවධානය නොදක්වන, ඔහුව මඟහරින, ඔහුට හිඟ වෙනත් අයෙකු දෙසට ආකර්ෂණය වීමට පටන් ගනී.

එබැවින්, මිනිසුන්ව ඈත් කිරීමට ඇති හොඳම ක්‍රමය ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමම නොව, ඔවුන්ට දරාගත නොහැකි තරමටම නොමිලේ ලබා දෙන ආදරයම විය හැක.

😘ආදරය යනු කලාවකි. එහි පැවැත්ම තීරණය වන්නේ දෙන ආදරයේ ප්‍රමාණය මතම නොවේ. එය රඳා පවතින්නේ ඔබ රඳවා තබා ගන්නා සීමාවන් සහ ඔබේ ස්වයං ගෞරවය කළමනාකරණය කරගන්නා ආකාරය මතමය.

මේ මනෝවිද්‍යාත්මක උගුලට (Psychological Trap) හසු නොවී, ඔබේ ආදරය සහ සීමාවන් දෙස නැවත වරක් හැරිලා බලන්න.

Psychological Counselor
Kasun Rajapaksha

10/06/2026

මට ගොඩාක් රිදෙනවා… හැබැයි මම දන්නවා ඊළඟට මොකද වෙන්නේ කියලා..

මට ඉන්නේ toxic partner කෙනෙක් කියලා මම දන්නවා, ඒක මම දන්නෙ අද ඊයෙක ඉදලා නෙවෙයි..

එයා මාව නිතරම රිද්දනවා කියලත් මම දන්නවා..

එයාම ඇවිත් මගෙන් සමාව අරන් ආයේ එහෙම කරන්නේ නැහැ, ආයේ මෙහෙම කරන්නේ නැහැ කියලා උන දේවල් වලට සමාව ගන්නවා කියලත් මම දන්නවා..

මමත් සමාව දෙනවා..

හැබැයි ඒ ඔක්කොම ඒ වෙලාවට විතරයි.. මම සන්සුන් කියලා තේරුම් ගත්තට පස්සේ ආයෙමත් පරණ සෙල්ලම් ටික පටන් ගන්නවා..

නැවත නැවතත් එකම දේ එහෙම නැත්නම් එකම විෂම චක්‍රය සිදු වන බව මම දන්නවා..

එක පැයක් තුළ ලෝකේ ඉන්න හොදම මනුස්සයා එයා කියලා මට වචන වලින් ඔප්පු කරන්න හදනවා.

පැයකට පස්සේ මේ ලෝකේ ඉන්න මට වද දෙන අතිශය කුරිරුම පුද්ගලයා එයා කියලා මට හැම ක්‍රියාවන් තුළින් හැම විදියටම ඔප්පු කරනවා..

ඒත් මම තාම මෙතන..

සමහරවිට පිට ඉඳලා බලන කෙනෙක් මගෙන් අහන්න පුළුවන්.

ඔයා තාමත් යන්නේ නැත්තේ ඇයි?

ඒ ප්‍රශ්නයට උත්තරය ආදරය වෙන්නත් පුළුවන්.

බිය වෙන්නත් පුළුවන්.

තනිකම වෙන්නත් පුළුවන්.

හැබැයි තවත් දෙයක් තියෙනවා.

🧠අපි බොහෝ දෙනෙක් නොදකින දෙයක්. මනෝ විද්‍යාත්මකව බැලුවොත්..

මට රිදෙනවා.

හැබැයි…

මම දන්නවා ඊළඟට මොකද වෙන්නේ කියලා.

එයා රිද්දයි.

මම අඬයි.

එයා සමාව ගනී.

මම සමාව දෙයි.

ටික දවසක් හොඳින් ඉඳියි.

ආයෙමත් රිද්දයි.....

අපිට වෙන දේ උපකල්පනය කරන්න පුළුවන්..
කොහේ ගියත් එයා ආයේ එනවා, නැත්නම් මම යනවා..

🥲මේක සතුටුදායක කතාවක් නෙවෙයි.

හැබැයි මේක මට හුරු කතාවක්.

ඒක තමයි ප්‍රශ්නය.

අපි බොහෝවිට හිතන්නේ මිනිස්සු toxic relationships වල ඉන්නේ ආදරය නිසා කියලා.

නමුත් සමහර වෙලාවට මිනිස්සු ඉන්නේ ආදරය නිසා නෙවෙයි.

හුරු පුරුදු වේදනාව නිසා.

මිනිස් මනස හැම වෙලාවෙම සතුට හොයනවා කියලා අපි හිතනවා.

නමුත් බොහෝවිට මනස හොයන්නේ සතුට නෙවෙයි.

පුරෝකථනය කරන්න පුළුවන් දේ.

ඊළඟට මොකද වෙන්නේ කියලා දන්න දේ.

ඒ නිසා සමහර වෙලාවට,

අපිට ඇත්තටම ගරු කරන, අපිට ඇත්තටම ආදරය කරන, ඇත්තටම අපිව ආරක්ෂා කරන කෙනෙක් ළඟ ඉන්නවට වඩා,

අපිව රිදවන කෙනෙක් ළඟ ඉන්න එක පහසු වෙනවා.

මොකද ඒ ගරු කිරීම ආදරය, ආරක්ෂාව, සොයා බැලීම ඇත්ත උනත් අවංක උනත් අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්.

නමුත් රිදවීම…

අපිට හුරු පුරුදු දෙයක් වෙන්න පුළුවන්.

ඒකයි සමහර මිනිස්සුන්ට නිදහස ගැන පවා බය හිතෙන්නේ.
ඒකයි සමහර මිනිස්සු වද දෙන බව දැන දැනත් හිර කූඩුවලම හිර වෙලා ඉන්නෙ..

මොකද නිදහස කියන්නේ සතුට විතරක් නෙවෙයි.

නිදහස කියන්නේ අලුත් ජීවිතයක්.

අලුත් තීරණ.

අලුත් තනිකමක්.

අලුත් අවිනිශ්චිතතාවයක්.

ඒ නිසාම සමහර වෙලාවට මිනිස් මනස මෙහෙම කියනවා.

ඔව්… මේක රිදෙනවා තමයි...

හැබැයි මේ වේදනාව මම දන්නවා. මට මේක අලුත් දෙයක් නෙවෙයි..

ඒ නිසා මේකෙන් යනවට වඩා,

මේක ඇතුළේ ඉන්න එක මට හොදයි..

සමහරවිට healing කියන්නේ රිද්දන මිනිස්සු අතහැරීම විතරක් නෙවෙයි.

සමහරවිට healing කියන්නේ…

හුරු වේදනාව අතහැරලා, නුහුරු සුවය දරාගන්න ඉගෙන ගැනීම.

අපිව රිද්දන මිනිස්සුන්ව අතහැරීමට පෙර, අපිව රිද්දන දේවල් වලට හුරු වෙලා ඉන්න අපේම මනස තේරුම් ගැනීම.

සමහරවිට healing කියන්නේ…

හුරු වේදනාව අතහැරලා, නුහුරු සුවය දරාගන්න ඉගෙන ගැනීම.

මොකද සමහර වෙලාවට අපිව සුවපත් කරන්නේ

ආදරය ලැබීම නෙවෙයි…

ආදරය ලැබෙන විට එයින් පලා නොයා ඉන්න ඉගෙන ගැනීමයි.

Psychological Counselor
Kasun Rajapaksha

Want your practice to be the top-listed Clinic in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matara