EMed
27/09/2023
මධ්‍යසාර යම් කිසි ප්‍රමාණය?
-----------------------------
දිනපතා මධ්‍යසාර යම්කිසි ප්‍රමාණයක් පාවිච්ච් කිරීම මගින් සමහරක් පුද්ගලයන් ගෙ හදවත රෝග අවදානම අඩු කර ගත හැකි බවට මතයක් ඇත. එහිදී Alcohol මගින් රුධිරයේ HDL Cholesterol (හොඳ cholesterol) ප්‍රමාණය වැඩි කරන අතර රතු වයින් (Red Wine) වල ඇති ප්‍රති ඔක්සිකාරක (Anti Oxidant) මගින් ශරීරයට හෘද රෝග අවදානම අඩු කරනු බව කියවේ
නමුත් සමස්තයක් ලෙස මධ්‍යසාර ශරීරයට අගුණය. එය පිලිකාකාරකයක් ලෙස හඳුනා ගෙන ඇත. මද වශයෙන් ගැනීම තුළින් වුවත් පිළිකා අවදානම වැඩි වේ
නමුත් මධ්‍යසාර වලින් ඉවත් වීමට නොහැකි යම් අයෙක් වේ නම් මේ සදහා දිනකට පාවිච්ච් කල යුතු අවම මද්‍යසාර ප්‍රමාණයක් තිබේ. ඒ ප්‍රමාණයට වඩා මධ්‍යසාර පාවිච්ච් කරන්නේ නම් මධ්‍යසාර වල ඇති අහිතකර ප්‍රතිඵල වලට ලක් වෙන අවදානම වැඩි වෙනවා. එ වගේම දිනකට නිර්දේශිත ප්‍රමාණ කිහිපයක් එකතු කර නිවාඩු දවසට එක වාර පාවිච්ච් කරා කියලත් රෝග අවදානම වැඩි වෙන එක තමා වෙන්නේ
දෛනික මධ්‍යසාර අවම ප්‍රමානය යනු එක සම්මත බීමක් (one Standard Drinking)
මෙහිදී
පිරිමි සදහා දිනකට Standard Drink දෙකකුත්
ගැහැණු සදහා දිනකට Standard Drink එකකුත්
දෛනික අවම මධ්‍යසාර ප්‍රමාණය ලෙස සදහන් වෙනවා. නමුත් මේ අගයන් ගොඩක් වේලාවට ආසියානු නොවන කොකේශියානූවාන් (සුද්දෝ) සදහා තමා නිර්දේශ කරලා තියෙන්නේ. ඔවුන්ගේ ශරීර තුළ මධ්‍යසාර පරිවෘත්තීය (Metabolism) වන ආකාරය අපි වගේ ආසියානුවන්ට වඩා වෙනස්. ඒ වගේම අපි අතරේ වුණත් අපි එක් එක් පුද්ගලයන් තුළ මේ ක්‍රියාවලිය වෙනස්. ඒ නිසා අපිට නම් අවම මධ්‍යසාර ප්‍රමාණය one Stadard Drink එකක් වෙන තරමට වඩා හොඳ බවක් මට හිතෙනව. කිසිම මධ්‍යසාරයක් නැති තරමට වඩාත්ම හොඳයි
One Standard Drinking කියන්නේ මොකක්ද
(1) 5% Beer 12 ounce/ 375 ml (Beer Can එකක්)
(2) 8% Malt Beer 8 - 9 Ounce /250ml
(3) 12 % රතු වයින් 5 Ounce / 150ml
(4) 40% මධ්‍යසාර (Gin, Wiskey, Vodka, Tequila) 1.5 ounce / 45ml
මධ්‍යසාර වලට වඩා ආරක්ෂිත වෙනත් ක්‍රම මගින් රුධිරයේ HDL Cholesterol ප්‍රමාණය වැඩි කර ගන්නත් ප්‍රති ඔක්සිකාරක වැඩි කර ගන්න පුළුවන්
දිනපතා ව්‍යායාම කිරීම මගින් HDL Cholesterol ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් එළවලු පළතුරු මගින් අවශ්‍ය ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය ලබා ගන්නත් පුළුවන්
මෙහිදී හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමා සිදු කර ඇති ප්‍රකාශයක කොටසක් පමණක් උපුටාගෙන ප්‍රසිද්ධ කිරීම මගින් සමාජයට වැරදි පණිවිඩයක් යන්න අවදානමක් තියෙනව.
ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කියන්නේ මධ්‍යසාර ගන්නම එපා කියලා. මඳ පමණින් මධ්‍යසාර භාවිතය මගින් උනත් පිළිකා රෝග ඇති වෙන්න ඉඩ කඩ වැඩි වෙනවා එනිසා ගන්නේම නැති තරමට ඉතාම හොඳයි
10/07/2022
ඔබටත් ජිවිතයක් බේරා ගත හැකිය........................................................................................................................................
තෙල් පෝලිමේ මේ වනවිට වටිනා ජීවිත 15 ක් පමණ අහිමි වී අවසන්. ඉදිරියට අපේ කී දෙනෙකුට එලෙස අවාසනාවන්ත ඉරණමක් උරුම වෙයිද කියන එක අවිනිශ්චිත කාරණයක්. මේ අතරේ එලෙස අසනීප වුණ තාත්තා කෙනෙක්ගෙ ජීවිතය බේරා ගැනිමේ වීඩියෝ එකක් මේ දින වල සමාජ ජාල වෙබ් අඩවි තුළ සංසරණය වීම දකින්නට ලැබෙනවා. වාසනාවකට එ ජීවිතය බේරා ගැනීමට පුළුවන් වුණත් එ මොහොතේ එ තරුණයා ගෙ ක්‍රියාව තරමක් විද්‍යාත්මකව සිදුවිය යුතු බව වෛද්‍යවරයෙක් ලෙස තේරුම් ගිය නිසාවෙන් මේ සටහන තබන්න හිතුනා. නමුත් පළමුවෙන් ප්‍රේක්ෂකයෙකු හෝ මාධ්‍යවේදීයෙකු නොවී දිවි ගලවා ගන්නෙකු (Life Saver) ලෙස කිරියාත්මක වීම ගැන එ තරුණයාට ස්තුතිය පුද කරන්න කැමති.
තෙල් පෝලිමේ මරණ වලට ප්‍රධානම හේතුව හදිසි හෘද අකර්මන්‍ය (Sudden Cardiac Death). ඒ කියන්නේ හදිස්සියේම අපේ හෘදය වස්තුව ක්‍රියාත්මක වීම නතර වෙනවා. අපේ ශරීරයේ ප්‍රධානතම අවයව දෙක ලෙස හදවත සහ මොළය හදුන්වන්න පුළුවන්. මේ අවයව වල මනා ක්‍රියාකාරිත්වය සඳහා ඔක්සිජන් (Oxygen) සහ ග්ලූකෝස් (Glucose) අඛණ්‌ඩව සැපයීම සිදු විය යුතු කරුණක්. මේ සංඝටක මේ අවයව කරා පැමිනෙන්නේ රුධිරය හරහායි. රුධිරය අවයව වලට ගමන් කරන්නේ හදවතේ සංකෝචනය මගින් ලැබෙන බලයෙන්. සරලවම කිව්වොත් හදවත පොම්පයක් වගේ හදවතේ ක්‍රියාකාරීත්වය මගින් හදවතටත්, මොළයටත් අනිකුත් අවයව වලටත් රුධිරය පොම්ප කිරීම සිදු වෙනවා. ඉතින් හදවත නතර වුණොත් මේ අවයව වලට රුධිරය සැපයීම නතර වීම සිද්ධ වෙලා ජීවිත අවදානමක් ඇති වෙනවා.
හෘදය වස්තුව හදිසියේ නතර වීමට හේතු ගණනාවක් තියෙන්න පුළුවන් නමුත් ඒ අතරින් ප්‍රධානම හේතුව හදිසි හෘදයාබාධ (Heart Attack /Acute Coronary Syndrome). එහිදී හදවතට රුධිරය සපයන රුධිර නාල අවහිර වීමෙන් හදවතට අවශ්‍ය රුධිර සැපයුම නතර වී ඔක්සිජන් සහ ග්ලූකෝස් ආදී සංඝටක හිඟ වීමෙන් හදවත නතර වීම සිදු වෙනවා. හදිසියේ හදවත නතර වීම ඉතා අසාධ්‍ය තත්වයක්. හැකි ඉක්මනින් හදුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ නොකළහොත් පරක්කු වන හැම විනාඩියකටම මරණයට පත් වීමේ සම්භාවිතාව 10% කින් පමණ වැඩි වෙන බව ගණනය කර තිබෙනවා.
සුබ ආරංචිය තමයි මෙවැනි රෝගියෙකු ඉතා ඉක්මනින් හඳුනා ගැනීමට හැකි වුනොත් අවශ්‍ය නිවැරැදි ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් රෝගියා ජිවත් කරවීමට හැකියාව පැවතීම. විශේෂම කරුණ වන්නේ ඕනම අයකුට එම ප්‍රතිකාර ඕනැම අවස්ථාවක, ඕනම ස්ථානයක ආරම්භ කිරීමට හැකි වීම. එමගින් ඉතා වටිනා ප්‍රථිපල අත් කර ගැනීමට ඇති හැකියාව නිසාම දියුණු රටවල මේ ප්‍රතිකාර ක්‍රමය පාසල් අධ්‍යාපනය සිට සියලු ස්ථර වල ඉගැන්වීම සිදු කරන ලබන දෙයක්. මේ ක්‍රමයට කියන්නේ මූලික ජිවිත ආධාරක (Basic Life Support) (BLS) ක්‍රමය කියලා. මෙහිදී සිදු වන්නේ හදිසියේ හදවත නතර වුණු රෝගියෙක් ඉක්මනින් හදුනා ගෙන ඉතාම විද්‍යානුකූලව නමුත් සරළ ප්‍රතිකාර ක්‍රමයක් ආරම්භ කරමින් සෞඛ්‍යය කාර්ය මණ්ඩලය රෝගියා භාර ගන්නා තුරු රෝගියා ගෙ ජිවිතය පවත්වා ගෙන යාම. BLS ක්‍රමය ගැන ගැන දැනුවත් භාවය සහ නොපැකිලව BLS ක්‍රමය ආරම්භ කිරීමට ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මේ ලිපිය මින් ඉදිරියට දිග හැරෙනවා.
මුලින්ම හදිසියේ හදවත නතර වුණ කෙනෙක් හොයා ගන්නේ කොහොමද කියන එක බලමු. අන්තර්ජාතික පිළිගැනීමට අනුව එහෙම රෝගියෙක් හදුනා ගන්නේ මෙහෙමයි
“කිසිම ප්‍රතිචාරයක් නොමැති (Unresponsive) සහ හුස්ම ගන්නෙ නොමැති ඕනැම පුද්ගලයෙක් හදවත නතර වුණු රෝගියෙක් ලෙස සලකා ප්‍රතිකාර ආරම්භ කල යුතුය “ [European Resuscitation Council 2021 Guidelines ]
BLS ක්‍රමය ආරම්භ කිරීමට ප්‍රථම ආරක්ෂිත ස්ථානයකට රෝගියා මාරු කල යුතුය. කලින් video එකේ රියදුරු අසුනේ සිටි රෝගියා එ අවස්ථාවේ ආරක්ෂාකාරීව පාරට හෝ ගත යුතුව තිබුණා. BLS ක්‍රමය ක්‍රියාත්මක කල යුත්තේ සමතලා පොළවක
කිසිම ප්‍රතිචාරයක් නොමැති සිහි සුන් රෝගියෙක් අපිට හමු වුණ හොත් එය තහවුරු කර ගැනීමට අපිට ඔහුට හෝ ඇයට කතා කර ප්‍රතිචාරයක් තිබේද පරික්ෂා කර බැලිය හැකිය. ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති නම් අපිට උරහිසට තට්ටු කර ඔහු ප්‍රතිචාර දක්වනවා ද ලෙස පරික්ෂා කර බැලිය හැකිය. ඒ කිසිම ප්‍රතිචාරයක් නොමැති නම් මීළඟට අපිට රෝගියා හුස්ම ගන්නවා ද පරික්ෂා කල හැකිය.
මෙහිදී අපගෙ කණ රෝගියාගේ නාසය අසලට ගෙන ඔහුගෙ හුස්ම ගැනීමේ ශබ්දය ශ්‍රවණය කරන අතරතුර ප්‍රශ්වාස වාතයේ ඇති උණුසුම කණට දැනෙනවාද පරික්ෂා කර බලන්න . එ සමගම ඔහුගෙ හෝ ඇයගේ පපුව දෙස බලා හුස්ම ගැනීමේ චලනයන් පවතිනවා ද පරික්ෂා කර බැලිය යුතුය [1 රූපය]. හුස්ම ගන්නා ශබ්දය නොමැති නම් හා උණුසුම නොමැති නම් හා පපුවේ චලනය නොමැති නම් ඔහු හුස්ම ගන්නෙ නැති රෝගියෙක් බවට තහවුරු කර ගත හැකිය. මේ පුද්ගලයා ට ඉතා ඉක්මනින් BLS ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කළ යුතුය.
BLS ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට පෙර හැකි ඉක්මනින් උදවු ලබා ගන්න. මෙය ඔබට තනිවම සිදු කරන්න අපහසු කාර්යයකි. කව්රුන් හෝ ලවා 1990 අමතා හදවත නතර වුණු රෝගියෙක් සිටින බව දන්වන්න.
දැන් BLS ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය බලමු. අපිට මෙහිදී හදවතේ පොම්ප කිරීම අඛණ්‌ඩව සිදු කිරීමට අවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් එය සිදු වන්නේ හදවතේ ස්වයං සංකෝචනය මගිනි. එය නතර වි ඇත. එසේනම් පිටතින් බලයක් යොදා සංකෝචනය ආරම්භ කර පවත්වා ගත යුතුය. ඒ සදහා පිටතින් පපු තෙරපුම (Chest Compression) ලබා දිය යුතුය.
රෝගියා අසළ දණ ගසා ගෙන [2 පින්තූරය] අත්ල එකිනෙක පටලා [3 පින්තූරය] රෝගියාගේ පපුවේ මැද කොටසේ තබා පපු තෙරපුම ලබා දිය යුතුය. සෑම අවස්ථාවකදීම 5cm පමණ ගැඹුරට පපු තෙරපුම දිය යුතුය. තත්පරයකට දෙක බැගින් පපු තෙරපුම දිය යුතුය. මෙලෙස පපු තෙරපුම එක දිගට 30 වතාවක් දිය යුතුය. ඉන්පසු කෘතිම ශ්වසනය සදහා නතර කරණු ලබයි.
මෙවැනි අවස්ථාවක රෝගියා හුස්ම ගන්නෙ නොමැති නිසා අවයව වලට අවශ්‍ය ඔක්සිජන් සිරුරට ලැබෙන්නේ නැත. එමනිසා එ සදහා කෘතිම ශ්වසනය ලබා දිය යුතුය. එහිදී පපු තෙරපුම් 30 කට පසු රෝගියාගේ මුඛය අසලට ගොස් ඔහුගෙ මුව හොඳීන් විවර කර එක අතකින් ඔහුගෙ නාස් පුඩු වසා (එසේ නොකළ හොත් ඔබ මුඛයෙන් පිඹින වාතය පෙනහළු කරා නොගොස් නාසයෙන් එනු ඇත) ගැඹුරු හුස්මක් ගෙන ඔබගේ මුඛය රෝගියාගෙ මූඛයට තබා (වාතය කාන්දු නොවන සේ) තදින් පිඹින්න [4 පින්තූරය] . නැවත ගැඹුරු හුස්මක් ගෙන එලෙස කරන්න. මේ ආකාරයක දෙපාරක් කෘතිම ශ්වසනය ලබාදී නැවත පපු තෙරපුම ආරම්භ කරන්න.
මේ ආකාරයට පපු තෙරපුම් 30 කට වරක් කෘතිම ස්වසන 2 ලෙස 30:2 අනුපාතයට දිගටම BLS ප්‍රතිකාර ක්‍රමය කරගෙන යන්න. ඔබට කෘතිම ශ්වසනය දීමට පැකිලීමක් ඇති නම් ඔබේ අභිමතය පරිදි කෘතිම ශ්වසනය නොදී සිටිය හැක. නමුත් කිසිම අවස්ථාවක පපු තෙරපුම නතර නොකරන්න (European Resuscitation Council 2021 Guidelines)
ඉහත ආකාරයට සහාය වෛද්‍ය කණ්ඩායම් පැමිණෙන තෙක් දිගටම BLS ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කරන්න. කිසිම විටක මෙය නතර කරන්න එපා. මතක තියාගන්න මේ අවස්ථාවේ රෝගියාගේ හදවත ක්‍රියාත්මක වන්නේ ඔබ සිදු කරන පපු තෙරපුම මගින්. තව විදිහකට කිව්වොත් රෝගියා ගෙ ජිවිතය පවත්වා ගන්නේ ඔබයි.
අපේ රටේ මේ වගේ මොහොතක ත්‍රී රෝද රථයක නංවාගෙන හැකි ඉක්මනින් රෝහලට ගෙන යාම පුරුද්දක් වුවත් එ ගමන් කරන කාලය ඇතුලත හදවතේ ක්‍රියාකාරීත්වය නොමැති නිසා රෝහලට ඇතුළත් කරන්නේ හදවත සහ මොළය මිය ගිය රෝගියෙක්. ඔහු හෝ ඇය බේරා ගැනීමට කොපමණ උත්සාහ කරත් ඵලක් වෙන්නේ නැත. එමනිසා රෝගියාගේ ජිවිතය බේරා ගැනීමේ හැකියාව යුතුකම සහ එයින් ලැබෙන වැඩි ගෞරවය හිමි වන්නේ ඔබටමය එමනිසා ඔබටත් වටිනා ජීවිතයක් බේරා ගැනීමට හැකියාව පවතින බව අමතක නොකරන්න. අවශ්‍යය වන්නේ හැකි ඉක්මනින් හදවත නතර වුණු පුද්ගලයන් හදුනා ගෙන උදවු ඉල්ලා ගෙන හැකි ඉක්මනින් පපු තෙරපුම සහ කෘතිම ස්වසනය ආරම්භ කිරීමය. මෙමගින් ජිවිතයක් බේරා ගැනීමට හැකිය.
කවුරුන්ගේ හෝ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ස්වාමි පුරුෂයෙක් හෝ බිරිඳක් ඔබ නිසා ජිවය ලබනු ඇත
මෙම ලිපිය තුලින් පුලුවන් තරමට BLS ප්‍රතිකර ක්‍රමය පහදන්න අපි උත්සහ කර නමුත් නියමකරයෙන් මෙය සිදු කරන ආකරය ප්‍රයොගිකව පෑහදිලි කල යුතු දෙයක්. එමනිසා YOUTUBE Web අඩවියෙ මෙය පෑහදිලි කරනා video පටයක් ඔබට ගෙන එමට අපි අදහස් කරා. මෙ සම්බන්දයෙන් ඔබට ඈති ගෑටලු අප පිටුව වෙත ඉදිරිපත් කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
https://www.youtube.com/watch?v=n7kqiAu2gC8
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
Kandy