Misled Wanderer

Misled Wanderer

Share

29/03/2025

පණිවිඩේ යැව්ව දැං වාහනේ ගෙනෙන්නට
මේ ළඟලු නවත්තං ඉන්නෙ මල්ලී
ආ ගමං පටවගෙන මේ ට්‍රොලියෙ මළු තුනයි
ලොකුම ලොකු පෙට්ටියයි යනව ඉගිලී

නැහැනෙ මට ඉවසිල්ල දකින තුරු අම්මාගෙ
මුහුණෙ මල් පිපෙන හැටි TV එක දැක්කාම
නංගිටත් හොඳයි දැං බලයි ඇස් කට ඇරං
ඇගේ හිත පිරෙනකං කොරියානු කොලු රෑං

කාලයක් කොරියාවෙ දුක දරා වෙහෙස වී
එකතු වුණු සල්ලි ටික වියදම් වුනත්
අම්මගේ නංගිගේ හිත පිරෙන සතුටු පොදි
ඇති නැවත යන දවසෙ හිත හැදෙන්ටත්

ආච්චිගෙ සීයාගෙ පින්තූර එල්ලාපු
මැද සාලෙ බිත්තියට TV එක හරියන්නෙ
ඒත් අප්පච්චිගේ හිත නරක් වුනෝතින්
කොහොමදෑ නිවාඩුවෙ සැනසිල්ලෙ මං ඉන්නෙ

ගෙට ගොඩ වුනා, සැම එක් වුනා
කැවිලි කා තේ බිබී අපි හිනැහුනා
ගෙනා මළු විවර වී තෑගි බෙදුනා
ගෙවී ගිය කාලයේ තතු කියවුනා

කාලෙකින් පිරිවරින් පිරී ගිය ගෙයි පොඩිය
පසෙක හිඳ අප්පච්චි තුටින් විඳිමිං
මගේ හිත කොනිති කන ඇවිටිල්ල තේරීද?
කැඳවමින් ඔහු වෙතට කලා මට සං.

"පුතේ අර මැද සාලෙ
එල්ලාපු පොටෝ දෙක
හෙට උදේ මයෙ කාමරේ එල්ලපං"

#පවුල #ගෙදර

24/11/2024

මතක ගොන්නක සැඩ පහර විඳ
සිතුම් ගඟුලක දුක් සුසුම් මැද
හීන පොදියක් සිත්හි හිඳුවා
නුඹේ පදවිය මා ලැබූවා

ඒත්,

නොබෝ කලකට එපිට මාහට
සිටිය වාරුව එතෙර වූවා
මගේ තනියට ළඟ තබා ගිය
සෙවනැල්ලෙ බර සිතට ආවා

ඈත් ඇගෙ සිත් තනි නොතනියට
නුඹේ හිරු රැස් එළිය සෙව්වා
නුඔව 'ගොඩ දාගන්න' අදිටන
මෙතෙක් මා හට වාරු වූවා

අහෝ කම්ඵළ ලුහුබදියි මා!
සොබා මව් හට ඉඳහිටක එන
අසුබ සිතිවිලි පෙලක පිහිටට
ගෙයි නවාතැන් දෙන්ට වූවා

නිසල අරණේ ශ්වේත ගජ තෙද
නුඹේ තනියට දෙපස සිටුවා
තරණයට ජීවිතේ ගංදිය
වෙහෙස නොබලා හබල් ගැසුවා

🖤

29/08/2023

සැඳෑ හිරුගේ
කිරණ පැටලී
රටා ගැන්වෙන
වළා දුටුවද?

හමන පවනේ
වෙළුණු තුරුලිය
ඉපිළ නැළැවෙන
නාද ඇසුනද?

රුදුරු දහවල
විඩා නිමවන
වැටෙන වැසි බිඳු
සිසිල දැනුනද?

රටා මවනා
තරුද පරදා
දිලෙන සඳකැන්
පහස වින්දද?

සුමුදු වැලිමත
බිඳෙන රළ දිය
ගතේ දැවටෙන
සුවය ලැබුවද?

විඳින මනසට
සතුට ගෙනදෙන
නොමිල සම්පත්
අවට නැතුවද?

සොබා මවුගේ
විසිත දහමින්
නිවුනු මනසට
නිවන් කුමටද?

#සොබාදහම

20/07/2023

හිමිදිරිය
නුවරු වැඩට
ළමුන් කියුමට
එළිදකින මොහොත

ඊටත් කලිං ඇහැරුණු
පෑං පෑං චූං පාං
තරඟෙට දුවන
මහා තාර පාර

රෝද දෙක
තුන හතර හය
වෛවාරණ මාදිලි
රථ පෙළහර

මං හිටියෙ මේවා බලාගෙන
පාර අයිනේ අළුත්ම තාලේ
වාහන හෝදන නඩත්තු වන
'car service' අංගනයක

කවලමේ කැකෑරෙන හීනද
මහ පාරෙ කලබලේ ද
තාක්ෂණයද සේවාවද
කොච්චර නවීනද?

ඒත් ඒ ඔක්කොටම එහා
මහ පාරද A/C කාමරේද
වගේ වගක් නැතුව
නොගිලිහෙන #අපේකම ❤️

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy