Achintha Shakthi

Achintha Shakthi

Share

Photos from Achintha Shakthi's post 09/03/2025

ප්‍රවීණ සිනමාවේදී, චිත්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ, ප්‍රවීණ ලේඛක, පරිවර්තක, පුවත්පත් කලාවේදී, "ටෙක් ශ්‍රී ලංකා" ආයතනයේ හිටපු මහජන සම්බන්ධතා කළමනාකාර, ටෙලිසිනේ ආයතනයේ හිටපු සහකාර අධ්‍යක්ෂ, අසෝක නිස්සංක මහතා (මගේ මාමා) ඊයේ දින (2025 මාර්තු 8වන දින) සිය ජීවන ගමනින් සමුගත්තා.

ඔහු මිය යන විට 73 හැවිරිදි වියේ පසුවිය. මගේ මාමාගෙ පෞද්ගලික ජීවිතය ගැන කතා කළහොත් ඔහු සහෝදරියන් 5 දෙනෙකුන් යුත් පවුලේ එකම පිරිමි දරුවා විය. පවුලේ වැඩිමලාද වූයේ ඔහුයි. කොළඹ සංඝරාජ විද්‍යාලයෙන් හා වැඩිදුර ශ්‍රී සාරානන්ද පාඨශාලාවෙන්ද අධ්‍යාපනය හැදෑරූ බව මම ඔහු පිළිබඳ දන්නා කරුණු අතර වේ. පසුකාලීනව තරුණ වියට එළඹෙත්ම විවාහපත් වන්නට තීරණය කළ අතර ඇය නමින් ශෙරීමා ඩිලී විය. ඇය මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේද, කොළඹ පාස්පෝට් කාර්‍යාලයේද රැකියාවේ නියුතුව සිටියාය. දරුවන් ලබන්නට වාසනා නොකළත් ඔවුන් තම සොයුරියන්ගේ දරුවන් හා මුණුබුරන්ගේ සුරතල් බලමින් ගතකල විවාහ ජීවිතය සාර්ථක එකක් බව මම කුඩා කළ සිට අත්දුටු සත්‍යයකි.

දෙදෙනාගේම අවෂ්‍යතා තේරුම් බේරුම් කරගනිමින් මාමාගෙ වැඩකටයුතු සහ ආශා කළ දේවල් ලබාදෙන්නට නැන්දා කළ කැපකිරීම්ද, නැන්දා අසනීපව සිටි කාලය තුළ රෝහල්වල නිදි නොලබා මාමා කළ කැපකිරීම්ද හොද විවාහක යුවළක මෙන්ම පෙම්‍ යුවලක ආදර්ශමත් බව පෙන්නුම් කරා. 2016 වසරේ මාමගෙ ජීවන සහකාරිය සිය ජීවිතයෙන් සමුගත්තේ දියවැඩියා රෝගයේ දරුණුතම ප්‍රතිඵලයක් ලෙසින්.

ඇයගේ සමුගැන්මත් ඔහුව දැඩි කම්පනයකට පත්කළ අතර ඉන් ඉක්බිතිව, ඉතාමත් අවාසනාවන්ත ලෙස විවිධ ගැටලුකාරී තත්ත්වයන් මත ඔහුට තවත් බොහෝ දේ අහිමි වූයේ ඔහුගේ දැඩි පරිත්‍යාගශීලී බව නිසා බව මම සදහන් කරමි. ඔහු අද අප අතරින් දුරස්ව ඇතත්, සිය පවුල වෙනුවෙන් ඔහු කළ කැපකිරීම් පිළිබඳව මෙලෙසින් සදහනක් කරන්නේ, කිසියම් හෝ දෙයක් ඔහු ගැන නොදන්නා අයත් දැනගැනීම තුළින් ඔහුගේ ඊළඟ ආත්ම භවයට යහපත් ආශිර්වාදයක් එක් කිරීමේ අරමුණින් පමණි.

ඔහු හා මා අතර ඉතා කිට්ටු සම්බන්ධයක් නොතිබුණත්, කුඩා කාලයේ සිට ලේඛණ, පුවත්පත් කලාවට මෙන්ම සිනමාව, වේදිකාව සහ නීතිය හදාරන්නටත් කැමැත්තක් දැක්වූ බව මම ඔහු හා යෙදුණු කෙටි කතාබස් වලදී සදහන් කර ඇත. ඉතින් ඒත් එක්ක ඔහු සිය තාරුණ්‍යයේ සුන්දර අත්දැකීම් මා හා සතුටින් බෙදාගත් අවස්ථාවන් ගැන සිහිවන විට මගේ සිතට සිනහවක් සමග අදින් මතු කිසිදින ඔහු දකින්නට නොලැබෙන බව සිතට නැගෙන විට යම් දුකක්ද හිත තුළ ජනිත කරයි. ඔහුගේ වෘත්තීමය ජීවිතය ගැන සිහිපත් කළොත්, 70 දශකය මුල් භාගයේ, වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නව රැල්ලේ තරුණ නාට්‍යකරුවකු ලෙස "සුරපුරට යන එවුං" නාට්‍ය රචනයෙන්, නිශ්පාදනයෙන් කලා ක්ෂේත්‍රයට එක්විය. නීරෝගේ රගමඩල, නල දමයන්ති, කඩදාසි ඔරු වැනි වේදිකා නාට්‍යද පසුකාලීනව ඔහුගේ වටිනා නිර්මාණ ගොන්නට අයත් ඒවා බව සදහන් කල යුතුමය.

ඉන් පසුකාලීනව ඩී.බී නිහාල්සිංහයන්, සිරි කුලරත්න වැනි ප්‍රවීණ සිනමාවේදීන් සමගින් චිත්‍රපට ගණනාවක සහය අධ්‍යක්ෂණයෙන්ද, තිර රචනයෙන්, නිශ්පාදනයෙන් හා සංස්කරණ ශිල්පියකු ලෙසද සිනමා ක්ෂේත්‍රය තුළ ඔහුගේ නාමය සටහන් කරන්නට සමත්විය. 1990 වසරේ විජය කුමාරතුංගයන් රංගනයෙන් එක් වූ "තන්හා ආශා" චිත්‍රපටය ඔහුගේ අධ්‍යක්ෂණයක් විය. ඒ සමය තුළ Box Office චිත්‍රපටයක් ලෙසින් එය තිරගත වූ අතර, එම චිත්‍රපටයේ අවසන් රූගත කිරීම් 1988 දී සිදුවෙමින් තිබූ කාලය අතරතුර විජය කුමාරතුංගයන්ගේ ඝාතනය සිදුවීමත් සමග චිත්‍රපටයේ අවසන් ජවනිකා රූගත කිරීමේ අභියෝගයද අසෝක නිස්සංකයන් විසින් හොදින් ජයගත් බව එවකට විචාරක මතය වූ බව මට මගේ තාත්තා කියා තිබුණි.

වැඩිදුරටත් සදහන් කරන්නේ නම්, මල්දෙණියේ සිමියොන් 1987, රිදී නිම්නය 1982, සෙලිනගෙ වලව්ව 1978, කෝකිලයෝ 1975, බඹර පහස 1980, වස්තුව 1974, කෙළිමඩල 1981, සිකුරු දසාව 1977, පෙතිගෝමර 1982, අනුරාධා 1982, හුළවාලි 1976 වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපටවලද ඔහු සංස්කරණයෙන්, සහය අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන්ද, දායක වූ අතර, "සිරිල් මල්ලි" 1975 චිත්‍රපටයේ ඔහු සුළු චරිතයක් නිරූපනය කිරීමත් ඔහු හා ඔහුගේ සිනමා ජීවිතය සම්බන්ධ සුවිශේෂී මතකයක් ලෙස සිහි කැදවන්නේ ඉමහත් ගෞරවයෙනි.

උඩු වියන, භවතරණ වැනි ටෙලි නාට්‍යද, මෑතකාලීනව ITN නාලිකාවේ, සිරකාරී නමින්ද ඔහු අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක් විකාශය විය. එය ඔහුගේ අවසාන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය විය.

ඊට අමතරව අප රටේ ප්‍රථම ටෙලි නාට්‍යය වන "දිමුතු මුතු" ටෙලි නාට්‍යයේද සහය අධ්‍යක්ෂණයෙන් දායක වීමට ඔහු සමත් වූ අතර ඊට අමතරව, රේඛා, කලු සහ සුදු, සුළග වැනි ටෙලිනාට්‍ය සදහාද ඔහු සිය අධ්‍යක්ෂණ සහය, සංස්කරණ ශිල්පයෙන් හා තිර රචනයෙන් දායක වූ බව සිහිපත් කළ යුතුයි. සුදු සහ කලු ටෙලි නාට්‍යයේද ඔහු චරිතයක් නිරූපනය කර ඇත.

ඒත් සමගම ඉහත කී සෑම කාල වකවානුවකම වාගේ ඔහු නවකතා, කෙටිකතා, පරිවර්තන කෘතිද රචනා කරමින් සාහිත්‍ය කලාවටද දායක විය. එම කෘති අතරින්, ජන නායකයා සහ පෙම් යුවල, නීරෝගේ රගමඩල ඔහු ලියූ කෙටි කතා වන අතර, ඉඳුදුණු අඹර ඔහු ලියූ නවකතා කීපයට අයත් මගේ මතකයේ රැදුණු නවකතාවක් ලෙස සදහන් කළ හැක. ඔහුගේ පරිවර්තන කෘති බොහොමයක් ඔබ කියවා ඇති බවට මට විශ්වාසයි. ඒ අතරින්, Kushwant Singh ගේ The Company of Women "සොදුරු ළදුන් ඇසුරේ" ලෙසින්ද, Parley J Cooper ගෙ Dark Desires "සුදු ඇඳිරිය" ලෙසින්ද, Alberto Moravia ගේ Two Women "ගැහැණුන් දෙදෙනා" ලෙසින්ද, Paulo Cohelo ගේ The Zahir "මා සොයන මා" ලෙසින්ද, Somerset Maugham ගේ Painted Veil "පාට වේල්පට" ලෙසින්ද, Alberto Moravia ගේ The Lie කෘතිය "සත්‍යාඳුර" ලෙසින්ද, Haruki Murakami ගේ After Dark ග්‍රන්ථය නිරුවත් කළුවර ලෙසින්ද, මෑත කාලීනව Bernhard Schlink ගේ The Reader කෘතිය "කියවමි කෙසේ ඇය මෙසේ" ලෙසින්ද, Pearl A Buck ගේ Hidden Flower "සැඟවුණු කුසුම" ලෙසින්ද ඔහු විසින් සිංහලයට පරිවර්තනය කර ඇත.

මේ කෘති අතරින් "සොඳුරු ළඳුන් ඇසුරේ" පරිවර්තනය දැඩි ආන්දෝලනයට තුඩුදුන් best seller කෘතියක් විය. "පාට වේල්පට" කෘතියද මහත් කතාබහට ලක්වූ කෘතියක් බවද සඳහන් කළ යුතුයි. මෙකී කෘතීන් අතුරින් එක් කෘතියක වැඩකටයුතුවල නිරත වෙමින් සිටි අවස්ථාවක ඔහුගේ ලැප්ටොප් පරිඝණකය ලෙඩ වූ අවස්ථාවක මගේ පරිඝණකය ඔහුට එම කටයුතු කරගැනීම සදහා ලබාදීම එම කෘතියේද සදහන් කර තිබීම ඔහුගේ කෘතවේදී බවේ උපරිම අවස්ථාවක් ලෙස මම සදහන් කරන්නෙ ඔහු පිළිබඳව මට ඇති තවත් සංවේදී මතකයක් යලි සිහිගන්වමිනි. එය මට ඔහු වෙනුවෙන් සහය විය හැකි වූ අවස්ථා බොහොම සුළු ප්‍රමාණයෙන් එකක් වන අතර ඒ පිළිබඳව ඔහු සදහන් කිරීම මා කිසිදිනක බලාපොරොත්තු නොවූ බොහොම පුංචි උදවුවක් වුණත් ඒ ගැන මගේ නම සදහන් කිරීමෙන් මට ලබාදුන් ගෞරවයට මම ඔහුට ස්තූතිපූර්වක වීමට මෙය අවස්ථාවක් කරගනිමි.

ඉතින් අපේ පවුලේ හැමෝම ආදරේට "සුදු මාමි" ලෙස ආමන්ත්‍රණය කළ මගේ ආදරණීය මාමා අද යළි නොඑන්නම යන්න ගිහින්. මගේ මව් පාර්ෂවයේ ඔහුගෙන් පසු වැඩිමල් පිරිමි දරුවා මම වුණත් ඔහු හා එක්ව කාලය ගතකරන්නට, ඔහු හා දැනුම බෙදාගන්නට මට කාල අවකාශය ලැබුණේ ඉතාමත් අඩුවෙනි. ඊට හේතුව කුමක්දැයි මමද නොදනිමි. ඉතින් සුදු මාමි ඔයා ගැන මම දන්න දේ මේ විදිහට ලියන්න හිතුවේ, ඔයා අපිට වගේම මෙරට කලා ක්ෂේත්‍රය තුළ නිහඩ සේවයක් කළ වටිනා චරිතයක් නිසාවෙනි. ජීවත්ව සිටි කාලය තුළ මට හැකි අයුරින් ඔයා මුණගැසුණු අවස්ථාවල ඔයාගෙ දේවල් අගය කරන්න ඒ ගැන කතා කරන්න මම කවදාවත් අමතක කරේ නෑ. කුඩා කාලයේ මවගේ පාර්ෂවයේ මහගෙදර රෑ නින්දට යන සමහර දිනවල ඔහු විසින් කළ ගුවන් විදුලි නාට්‍ය කැසට් පටි ඔහු රේඩියෝවේ අපිට ඇසෙන්නට සලස්වා නින්දට යන තුරු ඒවාට ආසාවෙන් සවන් දීමද මගේ ළමාකාලයේ සුන්දර මතකයක් බව සිහිපත් වේ.

අලුතින් එන චිත්‍රපට ගැන මම එක එක කතා කියද්දි ඔහුට අලුත් වැඩක් කරන්න මෙහෙම අදහසක් තියනවා, අචින්ත ඒකේ සින්දුවක් කියන්න කියලා මට කියූ අවස්ථාවන්ද මට සිහිපත් වෙනවා. අමරසිරි පීරිස් මහත්මයගෙ "හන්තානට පායන සඳ" ගීතය ඔහුගෙ නිවසේ අපිට නිරන්තර ඇහෙන්න ලැබුණ ගීතයක්, ඉතින් ඉදහිට අපේ නිවසේ උත්සව අවස්ථාවලදී ඔහුගේ ඉල්ලීම පරිදි එම ගීතය මට එපා වන තුරුම ගායනා කරන්නට වුණා, ඒත් එක්කම Kumar Sanu විසින් ගායනා කළ "Kuch Na Kaho" ගීතය ගයද්දි ඔහු ළග තිබූ handy cam එකෙන් සහ කුඩා ජංගම දුරකතන කැමරාවෙන් බොහෝ වතාවක් මාව වීඩියෝගත කළ හැටි අදටත් මගේ මතකයේ පවතී. එයා ඒ ගීත ගායනා කරන්න කියලම පසුකාලීනව මට ඒ ගීතයන් නැවත ගායනා කරන්නට නොහිතෙන වාර ගණනක් ගායනා කරන්නට වීම හාස්‍යට කරුණක්ද විය.

අවසාන වශයෙන්, ඔහු පිළිබඳ මගේ තවත් එක සුන්දර මතකයකින් සටහන මෙසේ අවසන් කරමි, එනම් මම HSBC බැංකුවට අයදුම් කර තිබූ කාල වකවානුවක, එහි අවසන් සම්මුඛ පරීක්ෂණයෙන් මා සමත් බවට ලැබුණු දුරකතන ඇමතුම ලැබූ අවස්ථාවේ ඔහු මට කදුලු පිරුණු දෙනෙතින් සිප වැළද සුබපැතීය.

තරමක් දීර්ඝව සටහන ලියන්නට වූ නිසා සටහන මම ඔහුගේ ප්‍රියතම ගීතයක කොටසකින් මෙසේ අවසන් කරමි.

"අගාධ සාගරයේ ඈත දියේ බිළි බෑමී
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමි"

"අසෝක නිස්සංක" ප්‍රවීණ කලාකරුවාණෙනි, ආදරණීය "සුදුමාමී" ඔයාට උතුම් නිර්වාණ සුව පතමි.

තෙරුවන් සරණයි !

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


Kandy