EXIT WAY OUT

EXIT WAY OUT

Share

19/09/2024

මැතිවරණ දේශපාලනය ගැන.
==========================

මධ්‍යතන යුගය අවසන් වීමත් සමග ක්‍රමිකව මතුව ආ නූතනත්ව ව්‍යාපෘතියේ ( Modernity Project ) මූලික ලක්ෂණය නම් ස්වාධිපත්‍යයෙන් යුතු වියුක්ත තනි පුද්ගලයා ( Abstract Individual ) ගොඩ නැගීමයි. වියුක්ත තනි පුද්ගලයා යනු ඊට පෙර සිටි, සමාජ වෘන්දයේ පොදු අබිලාෂ නියෝජනය කල මනුෂ්‍යයා නොව තනි පුද්ගල අබිලාෂ පෙරදැරි කරගත් මනුෂ්‍යයා ය. මෙහි තේරුම විශ්ලේෂණීය අර්ථයෙන් ගත් කල නූතනත්වය විසින් ගොඩ නැගූ තනි පුද්ගල අබිලාෂ සහිත මිනිසෙකු ( සිවිල් පුරවැසියෙකු ) එවැනි අර්ථයෙන් ඊට පෙර නොසිටි බවයි. මෙය අප වටහා ගත යුත්තේ නූතනත්වයට පෙර එක් මිනිසෙකුත් පසුව තවත් මිනිසෙකුත් ලෙස මිනිසුන් දෙදෙනෙකුව පටු අර්ථයෙන් පරිකල්පනය කිරීම නොව එකම මනුෂ්‍යාට එකවරම සිවිල් පුරවැසියෙකු ලෙස තනි පුද්ගල අබිලාෂ වෙනුවෙන් පෙනී සිටීමට සිදුවීමත්, එම සිවිල් පුරවැසිබාවයට ගත නොහැකි, යම්කිසි විදියකට කියතොත් මනුෂ්‍ය ජීවිතයේ සාරාත්මක බව නැතහොත් වාර්ගික ජීවියෙකු ( Species Being ) ලෙස පැවතීමට ඇති කැමැත්ත යන ද්විත්වයම එකවර නියෝජනය කිරීමට සිදු වීමයි. ඒ අනුව නූතන මනුෂ්‍යයා යනු බෙදුනු මනුෂ්‍යයෙකි.

නූතනත්ව ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස, සදාචාරාත්මක වගකීමේ පරම බලය හිමි මෙම වියුක්ත තනි පුද්ගලයා බිහිවීමත් සමග ඊට අනුෂාංගික ලෙස සමාජ දේහයේ බරපතල වෙනස්කම් ගණනාවක් සිදුවිය. රාජ්‍ය හා සිවිල් සමාජය වෙනම අධිකාරීත්ව ක්ෂේත්‍ර දෙකක් ( Modern State and Civil Society ) ලෙස වර්ධනය වීම ඉන් ප්‍රධාන එකකි. මේ ක්ෂේත්‍ර දෙක එකෙනෙක අන්තර්පෝෂණය වෙමින් වර්ධනය වේ. නූතන දේශපාලනයේ මූලික අන්තර්ගතය වන්නේ මෙකී ක්ෂේත්‍ර දෙකයි. ප්‍රජාතන්ත්‍රවාදය , මානව අයිතිවාසිකම් , නීතිය , සදාචාරය , ආර්ථික නිදහස, පාලකයන් පත්කරගැනීමේ හා පත්වීමේ අයිතිය ( චන්දය ) ආදී සියල්ල ගොඩ නැගුනේ මෙම වියුක්ත තනි පුද්ගලයා හෙවත් සිවිල් පුරවැසියා ( Citizen ) කේන්ද්‍ර කරගෙනය.

පුරවැසියාගේ මෙකී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම නූතන රාජ්‍යයෙහි මූලික වගකීමයි. ඇමෙරිකානු සමාජය ඇසුරෙන් මෙම සහසම්බන්ධය නිසිලෙස දැක ගත හැක. ඇමෙරිකානු ආණ්ඩුකරණයට අදාල මූලික ලියවිලි දෙකක් ඇත. එකක් නිදහස ප්‍රකාශයට පත්කිරීමේ ලියවිල්ල වන අතර අනෙක ව්‍යවස්ථාව යි.මේ ලියවිලි දෙකේම අවසන් වශයෙන් ගැබ්ව ඇත්තේ , තනි පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ දර්ශනය පිළිගැනීම ( Modern Philosophy ) , එකගතාවේ ආණ්ඩුකරණය ( Governance by Consent ) හා ජනතා පරමාධිපත්‍යය ( People Sovereignty ) යි. ඒ අනුව නූතනත්වය විසින් ලබාදුන් රාජ්‍යයේ මූලික ප්‍රධානය නම් සිවිල් පුරවැසියාගේ ( වියුක්ත තනි පුද්ගලයාගේ ) ජීවිතය , නිදහස, දේපළ ( ආර්ථිකය ) හා සතුට හඹා යාම සදහාවන ආරක්ෂාව තහවුරු කිරීමයි.

ඉහත අදහස පැහැදිළි නම් දැන් අපට මැතිවරණ දේශපාලනය ගැන යම් සංයුක්ත අදහසක් ගොඩනගාගත හැක. එනම් මැතිවරණ දේශපාලනය යනු තනි පුද්ගල ( පුරවැසි ) අයිතිවාසිකම් වෙනුවෙන්වන ආණ්ඩුකරණ තන්ත්‍රයක් පත්කර ගැනීමේ පුරවැසි නිදහසේ අඩවියයි. නූතනත්ව ව්‍යාපෘතිය ඇරඹීමත් සමග මැතිවරණ දේශපාලනයේ මූලික පොදු අබිලාෂය වූයේ " ප්‍රගතිය " යි. එනම් දියුණු ආර්ථිකයක් , නවීණ අධ්‍යාපනයක් , ඉහළ සෞඛ්‍ය සේවාවක් ආදී මෙකී නොකී සියල්ලයි. තනි වචනයෙන් කියතොත් කෙලවරක් නොමැති රේඛීය සංවර්ධනය යි. මෙය පොදු ලෝක දැක්මක් ලෙස අප ඉදිරියේ පෙනී සිටියි. මෙය කියවන්නෙකුට " ඉතින් ඒකනෙ වෙන්න ඕනි " වනි අදහසක් නිතතින්ම ඔලුවට ඒම විසින් කියාපානුයේ " ප්‍රගතිය " අපට කෙතරම් ස්වාභාවික වී ඇත්ද යන්නයි.

එහෙත් අප ඉන්නා සමාජ යතාර්තයට කෙළවී ඇතැයි හැමෝම තෙපලන අති මූලික ගැටලුවට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ, ලෝක ප්‍රජාවක් ලෙස අප ඉදිරියේ ඇති " ප්‍රගතිය " නම් මෙකී ලෝක දැක්මයි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ සමස්ථ ලෝකවාසීන් ලෙස අප ප්‍රගතියේ ලෝක දැක්මට අනුව ඉතාම දියුණු සමාජයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ආ මේ ගමනේ අවසන් ශේෂ පත්‍රය වන්නේ අති මූලික මනුෂ්‍ය අවශ්‍යතාවන වාතය , ජලය , ආහාර යන ත්‍රිත්වයම අර්බුදයට යාමයි. සංවර්ධනයේ නාමයෙන් අප කර ඇති පාරසරික විනාශය මෙතකැයි ගණන් බැලිය නොහැක. දයිනිකව මහ පොළවට එකතු කරන විෂ රසායන ඇසුරෙන් පමණක් වුව මෙය වටහාගත හැක. ඒ අනුව ගත්කල ඇත්තෙන්ම මෙය පාරිසරික විනාශයක් නොව ව්‍යසනයකි. කෙටියෙන් කියතොත් " ප්‍රගතියේ " නාමයෙන් සමස්ත මානව ප්‍රජාව ස්වකීය පැවැත්මේ විනාශය මුවවිටට පැමිණ තිබේ.

ලංකාවාසී අප ඉදිරියේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වී තිබෙන්නේ තතු මෙසේ තිබියදීය. තතු කෙසේ වෙතත් හැම මැතිවරණ වේදිකාවකම තොරොම්බොල් කරන්නේ " ප්‍රගතිය " යි. අයෙකු වැල්පාලමේ ගීතය ගයද්දී , ඇතමෙකු පුණරුද යුගයක් සපත කරයි. තවකෙකුට අනුව ප්‍රගතිය කරා යා හැක්කේ ව්‍යවසායක රාජ්‍යයක් ගොඩනැගීමෙනි. මේ හැමකම කේන්ද්‍රය ආර්ථිකය යි. නැතහොත් ආර්ථික ප්‍රගතියයි. සමස්ත ධනවාදී ලෝකයේම මූලික ලක්ෂණය නම් මනුෂ්‍ය ජීවිතය මුළුමනින්ම ආර්ථිකයට ඌණනය කිරීමයි.ධනවාදයට අනුව දේශපාලනයේ මූලික ගාමකත්වය ආර්ථිකය යි.එය ආර්ථිකය කෙතරම් පොදු හා සාමාන්‍ය කොට සලකයිදයත් මානව විමුක්තිය සමානයි ආර්ථික විමුක්තිය දක්වා මනුෂ්‍ය ජීවිතය පිරිහෙලා ඇත. ඒ අනුව සමස්ත දේශපාලන කතිකාවෙම කේන්ද්‍රය ආර්ථිකය යි.මාක්ස් මෙය වචනයට නැගුයේ " ධනවාදී සමාජයක අපි අපේ මනුෂ්‍ය සබදකම් පොකොට්ටුවෙහිලා ගෙන යන්නෙමු " යනුවෙනි. එලෙස ගත් කල ධනවාදය යනු අමු ආර්ථික නියතිවාදයකි.මාක්ස්ගේ මෙම අදහසට අනුව ආර්ථිකය මෙලෙස අති සාමාන්‍ය කොට සැලකීම ධනවාදී දේශපාලනයේ පාලක පන්තීන්ගේ හුදු අවශ්‍යතාවක් නොව " පොදු මහජනතාව " ගේ ද අවික්චානික කැමත්තයි. ඒ අනුව ගත්විට සමස්ත සමාජයේම අවිඥානය ආර්ථිකය යැයි කිව හැක.

මැතිවරණ දේශපාලනය ගැන කතා කිරීමේදී වාමාංශයේ හැසිරීම ගැනද කෙටියෙන් හෝ කතා කිරීම වැදගත් ය. වාමාංශිකයින්ට අතීතයේ සිටම තමන්ගේමවන අවසන් නිෂ්ඨාවක් හා ඒ සදහා වන වැඩපිළිවෙළක් තිබේ. ඒවාද රිජුව ගැටගැසී ඇත්තේ ප්‍රගතිය හා සම්බන්ධවය.සැබවින්ම ප්‍රගතියේ දෘෂ්ටිවාදය වැඩි වශයෙන් දරා සිටින්නේ වාමාංශිකයින් යැයි කිව්වත් එහි වැරැද්දක් නැත. ලංකාව තුළ පමණක් නොව ලෝක පරිමාණයෙන් ගත්තත් ප්‍රගතියේ දෘෂ්ටිවාදය මනුෂ්‍ය ජීවිතයට වැඩි වශයෙන් ඇතුළත් කලේ දක්ශිණාංශිකයින්‍ට වඩා වාමාංශිකයින් ය. විශේෂයෙන් සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කදවුරේ හිස එසවීමත් සමග මෙය සිදු වුණි. " ගුරු ගීතයේ " සිට " මිනිසා යෝධයෙකු වූයේ කෙසේද ? " දක්වා යන කෘති හි මුක්‍ය අරමුණ ප්‍රගතියයි. මෙහි නියමම උත්ප්‍රාසයනම් මේ කෘති ලොව පුරා ව්‍යාප්ත කළ ප්‍රකාශන ආයතනයේ නමමත් " ප්‍රගති " ( ප්‍රගති ප්‍රකාශන මන්දිරය ) වීම ය.

මැතිවරණ සමයන් හි දී වාමාංශිකයින් මුහුණ දෙන පොදු ගැටලුවනම් තමන්ගේ පෙර කී අවසන් නිෂ්ඨාව සදහා වන තමන්ගේම වැඩපිළිවෙළ අත් හැරීමට සිදු වීමයි. ( එය දක්ශිණාංශිකයින්ගේ අවසන් නිෂ්ඨාවෙන් තීරණාත්මක ලෙස කණ්ඩනය නොවී තිබීම නිසා මෙම අත් හැරීම පහසු කරවයි ) මැතිවරණ කාලයන්හිදී ඔවුන්ගේ ජනප්‍රිය ප්‍රකාශය නම්, " අපිට අපේම ගමනක් තිබුණත් මේ මොහොතේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මේ මැතිවරණයේ දී අපි අහවල් අයට සහයෝගය දෙන්න තීරණය කළෙමු " යන්නයි. මේ මැතිවරණයේ දී මෙය කදිමට කැපී පෙණේ. එනම් බහුතරයක් මාලිමාවේ දෑත් ශක්තිමත් කරන්න ඉදිරිපත් වන අතර ඉතා සීමිත පිරිසක් රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ඉදිරිපත් වී සිටී. මීට අමතරවා රිජුව සමාජවාදය වෙනුවෙන් පෙනී ඉන්නා වාමාංශිකයින්ගේද මැතිවරණ ළංවෙත්ම පස්සා පැත්ත රත් වෙන්නට පටන් ගනී. ඔවුන් පැතිවරණයට ඉදිරිපත් වන්නේ එය තමන්ගේ සමාජවාදී අදහස් ප්‍රචලිත කිරීමට වේදිකාවක් කරගන්නවා යන ඊනියා තර්කය ඉදිරියට දමමිණි. ( එහෙත් ප්‍රචලිත කරන සමාජවාදී අදහසක්නම් නැත. තිබුණත් වැඩකුත් නැත. මක්නිසාදයත් සමාජවාදය යනු ධනවාදයේම තව විදියක වර්ශන් එකක් වන නිසාය.) මේ අනුව වාමාංශිකයින්ට කවදාවත් තමන්ගේ පරම නිශ්ඨාව වෙනුවෙන් යමක් කිරීමට කාලයක් ඉතිරි වන්නේ නැත. ( සියඹලා ගේන්න වෙන්නෙම නෑ ) මෙය වාමාංශයේ ජන්ම දෝෂය යි.

මැතිවරණ දේශපාලනයේ පොදු අබිලාෂයන් හා එයට සම්බන්ධ වන පුද්ගලයා වියුක්ත පුරවැසියා බව දැන් අපිට පැහැදිළි විය යුතුය . මොන අර්තයෙන් ගත්තත් ඒවා අවසාන වශයෙන් සම්බන්ධ වන්නේ නූතනත්ව ව්‍යාපෘතියට ය. ඒ අනුව මැතිවරණ දේශපාලනයේ බූමිකා වන්නේ එක්කෝ ආණ්ඩුකරණයට ඇතුළත් වීමය නැතහොත් එයට සහයෝගය දක්වන පුරවැසි බූමිකාවට ඇතුළත් වීමය. තනි වචනයෙන් කිව්වොත් ( නූතන ) රාජ්‍යයේ තාර්කිකත්වය පිළිගැනීමයි.

" වාර්ගික ජීවියා " පිළිබඳ විවරණයේදී මාක්ස්ද , අප මෙම ලියවිල්ලේ මුළින්ම සදහන් කල පරිදි මනුෂ්‍ය ජීවිතයේ වියුක්ත ස්වභාවයක් ( වියුක්ත පුරවැසියා ) දකී. මාක්ස්ගේ වාර්ගික ජීවියා පිළිබඳ සංකල්ය වටහාගත හැකි එක් ආකාරයක් නම් එය යම් විදියක මනුෂ්‍ය සාරයක් ලෙස සැලකීමයි. මාක්ස් නූතන රාජ්‍ය දකින්නේ මෙම මනුෂ්‍ය සාරයේ අයතා නැතහොත් නොසැබෑ, ව්‍යාජ යතාවත් වීමේ මාදිලියක් ලෙසය. සැබවින්ම නූතන රාජ්‍ය පිළිබදව මාක්ස්ගේ මූලික විවේචනය වන්නේ එතුළ පුද්ගලයන් ඔවුන්ගේ විශ්වීයත්වය යතාවත් කර ගනු ලබන්නේ ඔවුන්ගේ සුවිශේෂත්වය අන්තර්ගතකරගත් සංයුක්ත විශ්වීයත්වක අව්‍යාජ ආකෘතියකින් නොව ඔවුන්ගේ සුවිශේෂත්වයට විරුද්ධ වූ වියුක්ත විශ්වීයත්වයක ආකෘතියකින් පමණක් බවයි. නූතන රාජ්‍ය තුළ පුද්ගලයන් ඔවුන්ගේ විශ්වීයත්වය යතාවත් කරන්නේ විසම්බන්ධිත ( Estranged ) ආකාරයකින් යැයි මාක්ස් පවසන විට , ඔහු ඉන් අදහස් කරන්නේ ඔවුන් එය යතාවත් කරනු ලබන්නේ ඔවුන්ට පරිබාහිර සමාගමයක් හරහා බවයි. නැතිනම් වටරවුම් ආකාරයකින් බවයි. මේ අනුව මිනිසුන් ඔවුන්ගේ විශ්වීයත්වය යතාවත් කරන්නේ ඔවුන්ගේ සුවුශේෂත්වයට ප්‍රතිවිරුද්ධව වියුක්ත ආකෘතියකිනි. දේශපාලනික විමුක්තිය හා " මානව විමුක්තිය " අතර ආවශ්‍යක වෙනස මෙයයි.

" මානව විමුක්තිය " ගැන On the jewish quotation හි මාක්ස් මෙසේ කියයි.

" සැබෑ තනි පුද්ගලයා , වියුක්ත පුරවැසියා යළි තමා තුළට කැදවා ගත්විට සහ ඔහුගේ අනුබූතික ජීවිතය තුළ , ඔහුගේ තනිපුද්ගල ශ්‍රමය තුළ සහ ඔහුගේ තනිපුද්ගල සබඳතා තුළ තනි පුද්ගලයෙකු ලෙස වාර්ගික ජීවියෙක් බවට පත් වූ විට පමණක් මිනිසුන් ඔවුන්ගේම වන බලයන් සමාජීය බලයන්බ්ලෙස හදුනාගෙන සහ සංවිධානය කරගෙන ඇති විට පමණක් සහ එහි ප්‍රතිඵලයක් ලෙස තව දුරටත් සමාජීය බලය දේශපාලන බලයෙහි හැඩයෙන් ඔවුන්ගෙන්ම වෙන් නොකරන විට , මානව විමුක්තිය ඉටු කරගත හැකි වන්නේ එවිට පමණි ."

මේ අනුව නිසැකවම එක් දෙයක් කිව හැක. එනම් විමුක්ති දේශපාලනයේ ක්ෂිතිජය , මැතිවරණ දේශපාලන මාවතේදී කිසිලෙසකින්වත් හමුවිය නොහැකි බවයි.

#තැන_තැන_බෝවෙන_කසුකුසුවක් #දේශපාලනය #ආණ්ඩුව #වම #පෙරටුගාමී

13/09/2024

පහතින් පලවන්නේ පසුගිය 05 වෙනිදා අප exit way out සාමුහිකය හා බටහිර ඉවුරේ දර්ශනය සංවිධානය අතර , " දේශපාලනය යනු කුමක්ද " යන මැයෙන් පැවති සූම් සංවාදයේ පළමු කොටසට අදාල හඩ පටය යි. මෙම සංවාදය පැය තුනකුත් ඉක්මවා පැවැති හෙයින් හඩ පටය කොටස් තුනකින් පලකරන්නට අප තීරණය කළෙමු. මෙම පළමු කොටස තුළ බටහිර ඉවුරේ දර්ශනය නියෝජනය කරමින් වංගීස සුමනසේකරත් exit way out සාමුහිකය නියෝජනය කරමින් ප්‍රසන්න අබේවික්‍රම හා දර්ශන ලියනගේත් අදහස් දක්වා ඇත. මෙහි ඉතිරි කොටස් ළගදීම පල කෙරේ.

02/08/2024

ලිංගික "හිංසනයේ" ෆැන්ටසිය
=======================

බහු ප්‍රචලිත ස්ත්‍රීවාදයේ එක් ප්‍රධාන කියා පෑමක් වන්නේ ස්ත්‍රිය ලිංගික හිංසනයට ලක් වන බව ය. විශේෂයෙන් ම රැකියා ස්ථානයේ දී, පොදු ප්‍රවාහනයේ දී, සහ ඇතැම් විට නිවස තුළමත් ස්ත්‍රිය ලිංගික හිංසනයට ලක් වන බව මේ අනුව කියවෙයි. මේවා පිළිබඳ සමීක්ෂණ කිරීම, දැනුවත් කිරීමේ වැඩසටන් ආදිය මඟින් මේ ලිංගික හිංසනය වැළක්වීමට ක්‍රියා මාර්ග ගැනීම, මේවාට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැනි දේ ස්ත්‍රී අයිතිවාසිකම් සම්බන්ධ NGOවල ප්‍රධාන කාර්යයයන් වෙයි. නමුත් මෙහි දී මතුවන මූලික ප්‍රශ්නය වන්නේ "හිංසනය" අර්ථගැන්වෙන්නේ කවුරුන් අතින් කවර සංදර්භයක ද යන්නයි. එක්තරා ආකාරයකින් ගත්විට සම්පූර්ණයෙන් ම හිංසනයෙන් තොර "ශුද්ධ" ලිංගික ක්‍රියාවක් පවතී ද යන්න ම ගැටලුවකි. අනෙක් අතින් ගත් විට "නියම" ලිංගික ක්‍රියාව කියා දෙයක් නොමැත්තේ ලිංගිකත්වය යනු කොහොමටත් බහු දිශානත විපරීතභාවයක් වන නිසා ය. යම් පිරිසක් "හිංසනය" ලෙස නම් කරන දෙය තවත් පිරිසකට සිය ලිංගිකත්වයේ රූපාකාරය විය හැකි ය.
උදහරණයක් වශයෙන් මේ වීඩියෝවේ එන්නේ "ලිංගික හිංසනයක්" නො වේ. එසේ ම සමාජ මාධ්‍යවල සංසරණය වන රංජන් රාමනායක ස්ත්‍රීන්ගේ තට්ටම්වලට අත් පහර දෙන වීඩියෝවල ඒ ස්ත්‍රීන් එය ලිංගික හිංසනයක් ලෙස සලකන බවක් පෙනෙන්නේ නැත. මේ අනුව පොදු ප්‍රවාහනය තුළ "හිංසනය" සිය ලිංගික රූපාකාරය ලෙස සලකන ස්ත්‍රියක් සිටිය හොත් එයට එරෙහි ප්‍රභූ ස්ත්‍රීවාදී මෙහෙයුම විසින් ඇයගේ අයිතිවාසිකම් කඩ වන්නේ නැද්ද?

#තැන_තැන_බෝවෙන_කසුකුසුවක් #දේශපාලනය #ආණ්ඩුව #වම #පෙරටුගාමී

28/07/2024

අනෙක් බාහු
============

ලිපිය සඳහා සබැඳිය ⬇️
https://exitwayout.org/other-bahu/

#තැන_තැන_බෝවෙන_කසුකුසුවක් #දේශපාලනය #ආණ්ඩුව #වම #පෙරටුගාමී

27/07/2024

බටහිර ඉවුරේ දර්ශනය වෙත ආරාධනයක්.....
==================================

අපගේ සාමාජික දර්ශන ලියනගේ පළ කළ අදහසකට බටහිර ඉවුරේ දර්ශනය විසින් ප්‍රතිචාරයක් දක්වා ඇත. එහි ඇති කරුණුමය අන්තර්ගතය ගැන වාද කිරීම තේරුමක් නැති වැඩක් බව අපගේ අදහසයි. එහෙත් බටහිර ඉවුරේ දර්ශනය සිය ප්‍රතිචාරය තුළ වැදගත් මූලධාර්මික ගැටලුවක් මතු කරයි. එනම් "දේශපාලනය යනු කුමක් ද?" යන ප්‍රශ්නය යි. මීට පෙර අප කණ්ඩායම් දෙක අතර සංවාදයක් සඳහා ඔබ කණ්ඩායමේ සාමාජික චාමර හත්තොටුව සහෝදරයා උත්සාහයක් ගත් නමුත් ඒ අවස්ථාවේ අපගේ ප්‍රතිචාරය වූයේ එවැන්නක් සඳහා නිමිත්තක් ඒ වන විට නොති බූ බව යි. දැන් නිමිත්තක් තිබේ. "දේශපාලනය යනු කුමක් ද?" යන්න ගැන ඔබ හා අප අතර සංවාදයකට අප සූදානම් ය. ඔබ සූදානම් නම්, දිනය, ආකාරය (භෞතික හමුවකට අප වඩා කැමති ය), වෙලාව, කොන්දේසි සම්බන්ධයෙන් අපට එකඟතාවකට පැමිණිය හැකි ය.

#තැන_තැන_බෝවෙන_කසුකුසුවක් #දේශපාලනය #ආණ්ඩුව #වම #පෙරටුගාමී

Want your organization to be the top-listed Government Service in Galle?
Click here to claim your Sponsored Listing.

Address


Galle
80000