epuwath.com

epuwath.com

Share

Stay informed with the latest headlines, politics, sports, weather, and more.

10/06/2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, "අනුබුදු දහමින් ලොවම නිවේවා" තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී අද (10) පැවති ජාතික පොසොන් උත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලාංකේය ජාතිය ශිෂ්ට සම්පන්න පරිවර්තනයකට ගෙන ගිය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සහ මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සැමරිය නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එම නිසා මෙවැනි අධ්‍යාත්මික වටිනාකම් සහිත උරුමය ඇති භූමිය සුරක්ෂිත කොට මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම රාජ්‍යයක වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම වගකීම ඉටු කළ හැක්කේ මහ පොළොව සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවතින පුරවැසියන්ට මිස පොළොවට උඩින් පාවෙන මිනිසුන්ට නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා අනුරාධපුර නගරය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති බවද කියා සිටියේය.

ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වූයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සමඟ බවත්, සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිශ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අත්නොහැර ඉටු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නගරය, ප්‍රථම වැව, පළමු සැත්කම කළ ස්ථානය, යෝධ ඇල වැනි උරුමයන් සහිත අනුරාධපුරය යළි පැරණි උරුමය ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්ය රජය සිදු කරමින් තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එම ප්‍රතිනිර්මාණ කටයුතු ඉන්දියානු ආධාර යටතේ සිදු කිරීමට ඉන්දීය අගමැතිවරයා මේ වන විටත් කැමැත්ත පළ කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"ඕනෑම ජාතියකට නැගී සිටීමට ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. එවැනි ශක්තිමත් අත්තිවාරමක් ශ්‍රී ලාංකේය ජනතාවට බුද්ධ දර්ශනය මගින් ලැබී තිබෙනවා. අධ්‍යාපනය වියළුණු සමාජයක ශක්තිමත් පුරවැසියන් බලාපොරොත්තු වන්න බැහැ. වසර දෙදහකට අධික කාලයකට පෙර මේ රටට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කළේ බුදු දහමයි. පන්සල් පිරිවෙන් බවට පත් කරමින් මේ රටේ ජනතාවට අධ්‍යාත්මික මෙන්ම දැනුම ලබාදීමේ සමාජ මෙහෙවර ඉටු කිරීමට බුදු දහම විශාල කාර්යයක් කළා. ශිෂ්ට සම්පන්න සමාජ යාන්ත්‍රණයක් ඇතිවීම එමඟින් සිදු වුණා. ඒ සඳහා වසර 2500ක ඉතිහාසයේ මේ රටේ වැඩ සිටී මහා යතිවරයාණන් වහන්සේලාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි."

"නමුත් මේ වනවිට එම සමාජ යාන්ත්‍රණය බිඳවැටී තිබෙනවා. පොලිසියේ ඇතැමුන් අපරාධකරුවන් ආරක්ෂා කරන තත්ත්වයට පත්වෙලා. ආගමන විගමන දෙපාර්තමේන්තුව සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්වෙලා. පතාල නායකයින්ට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස හිරකරුවන්ට නිදහස ලබා දී තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙනවා. මේ ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවෙයි. එම නිසා පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතුයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින් මඟපෙන්වීමක් ලබා ගත හැකියි."

ශිෂ්ට සම්පන්න ජාතියක් වශයෙන් අප මේ රාජ්‍ය ආයතන නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරනවා. එම කාර්ය අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍යයි. මේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුයි.

වසර දෙකක කාලයක් ජාතික පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නොහැකි වූ අතර ඒ සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගෙන ජාතික පොසොන් උත්සවය මිහින්තලයේදී පැවැත්වීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ස්තුතිය පළ කරන ලදී.

05/06/2025

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එමෙන්ම තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස 22 වනදා අතර කාලසීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ.

ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති "සායිඩි" නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්" already spoke to the management. You will get games, and you have to give something for them too ok" යනුවෙන් කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර තිබෙන චෝදනාවේ සඳහන් වේ.

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා දූෂණ වෙනස්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදී.

එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබේ.

05/06/2025

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රාවක් වැටලීමට ගිය නාවික හමුදා යාත්‍රාවකට තවත් යාත්‍රා කිහිපයකින් පැමිණි කිසියම් සංවිධානාත්මක පිරිසක් පහරදීමට තැත්කිරීමේදී සිදුවූ ගිනිඅවි ක්‍රියාත්මක වීමකින් කුච්චවේලි ප්‍රදේශයේ ධීවරයෙකු තුවාල ලබා තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ධීවරයා සහ පහරකෑමට ලක්වූ නාවික හමුදාවේ දෙදෙනෙක් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භකර ඇතැයි නාවික හමුදාව පවසයි.

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් හා යාත්‍රා වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මෙරට ජල තීරය ආවරණය වන පරිදි නිරන්තරයෙන් සිදුකරනු ලබයි.

ඊයේ රාත්‍රී 7ත් - 7.30ත් අතර කාලයේ නාවික හමුදා යාත්‍රාවක් ත්‍රිකුණාමලය, කුච්චවේලි මුහුදු තීරයේ එවැනිම විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ, පොඩුකට්ටුව - බෝඩර් පොයින්ට් නමින් හඳුන්වන දිවයිනට ආසන්න දේශීය ජල තීරයේය.

එම අවස්ථාවේ ඩිංගි බෝට්ටුවක සිටි ධීවරයින් 5 දෙනෙක් එහි නීතිවිරෝධී ලෙස ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිට ඇති අතර නාවික හමුදා යාත්‍රාව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ගොඩබිම දෙසට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත්, එම අවස්ථාවේ සංවිධානාත්මක පිරිස් රැගත් යාත්‍රා කිහිපයක් නාවික හමුදා යාත්‍රාව හඹාවිත් ගැටීමට සලස්වා අත්අඩංගුවටගත් ධීවරයින් පිරිස මුදාගෙන පලායාමට තැත්කළ නාවික හමුදාව පැවසීය.

එහිදී නාවික යාත්‍රාවේ සිටි නාවික හමුදා පුද්ගලයින් ඔවුන්ට දැනුම්දී ඇත්තේ රාජකාරියට බාධා නොකොට සිය කටයුතු නීත්‍යානුකූලව සිදුකිරීමට ඉඩ ලබාදෙන ලෙසය.

එහෙත්, පැමිණි සංවිධානාත්මක පිරිස තවදුරටත් කළහකාරී ලෙස හැසිරී යාත්‍රාව පැහැරගැනීමට උත්සාහකර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇත.

තවදුරටත් නියෝග නොතැකූ සංවිධානාත්මක පිරිස නාවික හමුදා පුද්ගලයින්ට පහරදී පොරබැදීමක් ද සිදුකර ඇති නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී සංවිධානාත්මක පිරිසේ අයෙක්, නාවිකයෙකුගේ රාජකාරී ගිනිඅවිය උදුරාගැනීමට යාමේදී එය ක්‍රියාත්මකවී ඇති අතර ඉන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇත.

සිද්ධියෙන් පසු සංවිධානාත්මක පිරිස පලාගොස් ඇති අතර නාවික පිරිස සිය භාරයට ගත් සැකකාර ධීවරයන් සමඟ ගොඩබිමට පැමිණ තිබුණි.

තුවාල ලැබූ 24 හැවිරිදි ධීවරයා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු ඇතුළු ධීවරයින් 5 දෙනා කුච්චවේලි - ජාවානගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ, යාත්‍රාව තුළ සිදුවූ පහරදීමේදී තුවාල ලැබූ නාවික පුද්ගලයින් දෙදෙනෙකු ද මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

කෙසේවෙතත්, මෙහිදී සිදුව ඇති වෙඩිවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අද පෙරවරුවේ කුච්චවේලි ප්‍රදේශයේ උද්ඝෝෂණයක් ද පැවැත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව මූලික පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භ කළ බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තයේ කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් මේ වසරේ මේ දක්වා ධීවර යාත්‍රා 117ක් සහ පුද්ගලයින් 315 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.

ඊයේ (03) රාත්‍රීයේ පමණක් සිදුකළ එවැනි මෙහෙයුම්වලින් නීතිවිරෝධී යාත්‍රා 11ක් සමඟ පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවටගත් බව ද නාවික හමුදාව පවසයි.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo