Arogya
28/05/2022
මන්කිපොක්ස් monkeypox අලුත් ලෙඩක් ද ?
එක් වසංගතයක් අවසන් වීමට පෙර තවත් රෝගයක් ලොවට ගැටලුවක් වෙමින් පවතියි. ඒ ආසාදිතයන් දස දෙනකුගෙන් එක් අයකු මිය යන මන්කිපොක්ස් රෝගයයි. රටවල් දොළහක් මන්කිපොක්ස් රෝගීන් 80 දෙනකු සිටින බව තහවුරු කර තිබෙන බව බීබීසී පුවත් සේවාව වාර්තා කර තිබෙයි. බෙල්ජියම මේ වන විට රෝගීන්ට දින 21ක නිරෝධායන කාලයක් පනවා ඇත.
එක්වර ම කතා බහට ලක්වුණු මන්කිපොක්ස් කෙබඳු රෝගයක්ද ? මෙය ද නව කොරෝනා වාගේ ම වයිරස රෝගයකි. වසූරියට නෑකම් කියන මන්කිපොක්ස් වයිරසය ආසාදනය වීමට තිබෙන ඉඩ අඩු ය. ඒ වාගේම වැලඳුණු විට දරුණු වන්නේත් අඩුවෙනි.
අලුත් රෝගයක් කියා අපට සිතුණ දමෙය මුලින් ම හඳුනා ගෙන තිබෙන්නේ 1958 දීයි. පර්යේෂණයකට තබා ගෙන සිටි වඳුරන් සරම්ප වැනි රෝගයකට ගොදුරුවී සිටින බව පර්යේෂකයන් හඳුනා ගෙන තිබෙයි. ලේනුන් මීයන් වැනි කෘදන්තයන්ගෙන් මිනිසාට වයිරසය ශරීරගත වීමට හැකි බව වැඩිදුරටත් කළ පර්යේෂණවලින් හෙළිවිය. සතුන් සපා කෑමෙන් සීරීමෙන් හෝ තුවාලයකට විසබීජ සහිත ස්‍රාවයන් මිශ්‍රවීමෙන් වයිරසය ආසාදනය වෙයි. පළමු මන්කිපොක්ස් රෝගියා 1970 දී කොංගෝ රටෙන් වාර්තා වී තිබෙයි. ඉන්පසු වරින් වර මධ්‍යම හා බටහිර අප්‍රිකානු රටවලින් මෙබඳු රෝගීන් ගැන වාර්තා විය. දකුණු අප්‍රිකාවෙන් කෘදන්තයන් ගෙන්වූ පසු 2003 දී අමෙරිකාවෙන් ද මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී තිබෙයි. මිනිසුන්ට පමණක් නොව සුරතල් බල්ලන්ට ද රෝගය බෝවී ඇත.
ආසාදිත පලු ඇති පුද්ගලයන් සමඟ කායික සබඳතා පැවැත්වීමේදී ඇඳුම් මාරුකර ගෙන ඇඳීමේදී වයිරස ඇති ශ්ලේෂ්මල ගෑවුණු ඇඳ රෙදි ආදිය භාවිත කිරීමේදී රෝගය බෝවීමට පුළුවන. මෙය ද ස්වසන මාර්ගයෙන්, ඇසෙන්, නාසයෙන්, මුවින් බෝ වීමට හැකි බව සොයා ගෙන තිබෙයි.
රෝග ලකුණු වන්නේ, උණ, හිසරදය, මාංසපේශි වේදනාව, කොන්දේ කැක්කුම, සීතල
විඩාබර බව වසා ගැටිති ඉදිමීම ය. (කිහිලි, ඉකිළි වැනි තැන්වල ඇති වසා ගැටිති ඉදිමීමට පුළුවන.) රෝග ලකුණක් ලෙස පලු හටගන්නා අතර මුලින් මුහුණේ පලු හටගෙන එය සිරුරේ අන් කොටස් කරා පැතිරෙයි. උණ හට ගන්නේ මුහුණේ සහ සිරුරේ පලු හට ගැනීමට පෙර ය. විසබීජය ආසාදනය වී දින 1 - 3 අතරදී පලු මතු වීමට ගනියි.
විශේෂයෙන් අත්පාවල සුලබව පලු දක්නට ලැබෙයි. මුලින් සාමාන්‍ය පලුවක් මතුවී පසුව පැසවා පුපුරා යයි. පලු වේදනාකාරීය. කසනසුලුය.
රෝගයට ප්‍රතිකාර ඇත.
මන්කිපොක්ස් ආසාදනය වී දින 14 - 21 කදී ඉබේ ම සුව වෙයි. රෝගය වැලඳී සති හතරක් යනතුරු රෝගය පැතිරවීමේ හැකියාව පවතියි.
කෘදන්තකයන් ඇල්ලීමෙන් වැළකීමෙන් උන් හුදකලා කිරීමෙන් නිතර සබන් ගා දෑත් සේදීමෙන් රෝගයෙන් බේරී සිටීමට පුළුවන.
පැපොල හා මනිපොක්ස් අතර යම් නෑකමක් පැවතුණත් වෙනස්කම් ද පවතියි. රෝග දෙක ම සෙම් බිඳීති මඟින් පැතිරීමට පුළුවන. පලු ස්පර්ශ වීමෙන් රෝගය පැතිරෙයි. පැපොල තරම් සීග්‍රයෙන් පැතිරෙන්නේ නැති මන්කිපොක්ස් එතරම් සුලබ ද නැත.
වසූරියට දෙන එන්නත ලබා දීමෙන් මන්කිපොක්ස් රෝගයෙන් සියයට 85ක පමණ රැකවරණය ලැබෙන බවත් සොයාගෙන තිබෙයි. ප්‍රතිවයිරස ඔසුත් රෝගයට ලබා දෙයි.
බීබීසී පුවත් හා මේල්ඔන්ලයින් ඇසුරිනි.
චමිපිකා දීපානි රණසිංහ
27/05/2022
ආහාරමය වටිනාකමක් ඇති ඖෂධීය පැළෑටියක් අක්කපාන
ආහාරමය වටිනාකමක් ඇති ඖෂධීය පැලෑටියක් ලෙස අක්කපාන හැඳින්විය හැකිය. අපේ ආහාර රටාවට අයත් වන හොද්ද, නියඹලාව, ඇඹුල ව්‍යංජනය, සම්බෝලය, මාළුව ආදී, වූ බත රස කරන පිරිවැරුම් ආහාර අතරින් අක්කපාන සම්බලයට විශේෂ ඉඩක් ඇත. ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන අක්කපාන අප්‍රිකානු රටවල්වලින් මෙරටට පැමිණි පැළෑටියක් ය යන විශ්වාසයක් ඇත. බහු වාර්ෂික පැළෑටියක් වන මෙය ගල්තලාවල ඉතා හොඳින් ගාලක් ලෙස වැවෙයි. පෝච්චියක වුව වවාගත හැකිය. පත්‍ර මාංශල ගතියකින් යුක්තය. මෙම පැළෑටියෙහි රෝස පාට අලංකාර මලක් ද හට ගනියි. අක්කපාන ප්‍රභේද දෙකකි. එක් වර්ගයක පත්‍ර සිහින්ය. අනෙක් වර්ගයෙහි පත්‍ර ලොකුය. ඇතැම් වර්ගයක නාරටිය රත් පැහැතිය. ආයුර්වේදයට අනුව අක්කපානවල රසය ක්ෂාය හා අම්ල ය. ගුණයෙන් ලඝු සහ රූක්ෂය විපාකයෙන් මධුරය වීර්යයෙන් ශීත ය.
ආයුර්වේදයෙහි පාෂාණ ඛෙදන යන නමින් හඳුන්වන මෙම පැළෑටි මුත්‍රාශයෙහි හටගන්නා ගල් දියකර හැරීමේ ගුණයෙන් යුක්තය. අක්කපාන බොහෝ රෝග තත්ත්ව වලදී අත් බෙහෙතක් ලෙස යොදාගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයකි. කැඩුම් බිඳුම් තැලීම් වලදීද හන්දි ඉදිමුම් හෙවත් සරල ආතරයිටීස් තත්ත්වයන් හිදී ද අත් බෙහෙතක් ලෙස යොදාගත හැකිය. අක්කපාන කොළ මිටක් ඇල්දියෙන් අඹරා අදාළ තැන ආලේපයෙන් ඉදිමුම් අඩු කරගත හැකිය. සුළු අස්ථි පුපුරායෑම් තත්ත්වයක් පෑහීමේ හැකියාව ද අක්කපාන වලට ඇත. අක්කපාන එළඟිතෙලෙන් අඹරා තුවාල මත ආලේපයෙන් තුවාල සුව වේ. එම පල්පය විසර ගෙඩි මත ආලේපයෙන් සැරව ඉවත් වේ. දත් එන අවස්ථාවේ දැනෙන වේදනාව සමනය සඳහා අක්කපාන කොළ මී පැණියෙන් අඹරා ගෑම හොඳය. සමේ ඇතිවන කැසීම්, වණ, තුවාල අක්කපාන තැම්බූ දියෙන් සේදීමෙන් සුවයක් ලැබෙයි. නටන උණු වතුරට අක්කපාන කොළ කිහිපයක් පොඩිකර දමා තබා පෙරා එම වතුර බීමෙන් අම්ල පිත්ත රෝග බඩ පිපුම, බඩ දැවිල්ල සුවකරගත හැකිය.
කාන්තාවන්ට ඇතිවන ඔසප් වේදනාවට මෙන්ම පුරුෂයින්ගේ පුරස්ථිග්‍රන්ථි ඉදිමීමට ද අක්කපාන හොඳ ඖෂධයකි. රක්ත අර්ශස් රක්තප්‍රදරය ඇති අය අක්කපාන කොළ වණ්ඩුවේ තම්බා මිරිකා මී පැණි සමඟ පානය යහපත්ය. කාන්තාවන්ට ඇතිවන ප්‍රදර රෝග වලදී අතීසාරයේදී අක්කපාන කොළ, තැඹිලි මල් සමඟ තම්බා එම වතුර පානයෙන් සුවය ලැබෙයි. රක්තධාතුව පිත් ධාතුව දූෂ්‍ය වීමෙන් ඇතිවන තත්ත්ව වලදී අක්කපාන දලු මිටක් පොඩිකර තම්බා බීම යහපත්ය. අක්මාවේ එකතු වූ විෂ ඉවත් කිරීමටද එම පානය සුදුසු ය. අක්කපාන කොළ ඉස්ම තල තෙල් හා මිශ්‍රකර හිසෙහි ගැල්වීමෙන් අකලට හිසකෙස් පැසීම වළකාගත හැකිය. අක්කපාන යනු ඉතා හොඳ වේදනා නාශකයකි. හිසරදයට ඉරුවාරදයට අක්කපාන කොළ රත්කර සිසිල් වීමට පෙර නළල මත කිහිප වරක් තැබීමෙන් සහනය ලද හැකිය. පාදවල ඇතිවන දිලීර ආසාදනවලදී උණු වතුරට අක්කපාන කොළ කිහිපයක් දමා එයට දෙපා දමා සිට පසුව කකුල්වල තෙත මාත්තුකර නින්දට යෑමෙන් සහනයක් ලැබෙයි. සම අව් රශ්මියෙන් පිළිස්සුන විට එම තැන්වලට අක්කපාන කොළ අඹරාගත් තලපය තැබීමෙන් එම සමෙහි අලංකාරය සඳහා ද අක්කපාන කදිම ඖෂධයකි. පිළිස්සුම් තත්ත්වය සුවකරගත හැකිය. මෙම ප්‍රතිකර්මය කිහිපවරක් කිරීම යහපත්ය. අක්කපාන කොළ යුෂ මේස හැන්දකට මී පැණි තේ හැන්දක් පමණ එක්කර සකස් කරගෙන එය පානයෙන් හා සමේ ආලේපයෙන් සමෙහි ඇදෙන සුළු බව පවත්වා ගත හැකිය. එමඟින් සම මත රැළි ඇතිවීම පාලනය වෙයි.
කැළේට කොළේට හැදෙන මේ වටිනා පැළැටියෙහි ගුණ පමණක් නොව එම පැළෑටිය පවා නූතන පරපුරෙහි බොහෝ දෙනා හඳුනන්නේ නැත. එනමුත් මේ බිමෙහි වැවෙන මෙම අගනා ඖෂධ පිළිබඳ දැනුවත් භාවය ලබා ගැනීම ඉතා වටිනා කාරණයකි. මීට දශක තුන හතරකට පෙර නම් අක්කපාන යනු කුඩා ළමුන් ඉතා ප්‍රියකළ පත්‍ර විශේෂයක් විය. මන්දයත් මෙම පත්‍ර පොත් පිටු අස්සේ තබා මුල් ඇද්දවීම ඔවූහු ඉතා ප්‍රියජනක කාරණයක් සේ කළ දෙයකි. අක්කපාන ඔසු පැළයක් ලෙස සේම ආහාරයට ගත හැකි ගෙවතු අලංකරණය කරන පැළෑටියක් ලෙස ද යොදාගත හැකිය. අතීතයෙහි ගැමි ගෘහණියෝ ඉඳහිට අක්කපාන කොළ සම්බලය සාදා සිය නිවැසියන්ගේ බත් පත රස කළේ බතට තව එක් ව්‍යංජනයක අඩුව සම්පූර්ණ කිරීමටම පමණක් නොව නිවැසියන් පෙළන බොහෝ රෝග පීඩාවන් නිවාරණය කර නිරෝගී බව සිය පවුල තුළ සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ද ඇති විය. අක්කපාන මිටක් ගෙන සිහින්ව ලියා එයට රතුලූණු, අමු මිරිස්, දෙහි යුෂ පදම අනුව ලුණු ද මිශ්‍රකර ගත්විට රසයද ගුණයද යහමින් ලබාදෙන අක්කපාන සම්බලය සූදානම්ය. අක්කපාන කොළ මිරිකා එයට දෙහි යුෂ මිශ්‍ර කළ විට රසවත් පානයක් සකසාගත හැකිය.
අක්කපාන බොහෝ රෝග සඳහා ගුණ දෙන පැළැටියක් සේම අක්කපාන නොගත යුතු අවස්ථා ද ඇත. අක්කපානවල ගුණ මෙන් ම එකී තත්ත්ව පිළිබඳ ද ඔබ දැනුවත් විය යුතුමය. ගැබිණි අය අක්කපාන කොළ භාවිත නොකළ යුතු අතර හෘදයාබාධ ඇති අය වෛද්‍ය උපදෙස් මත පමණක් මෙය භාවිත කළ යුතුය. එසේම අක්කපාන අධික මාත්‍රවෙන් ගැනීම ද නොකළ යුතුය.
ධම්මිකා සුරංජි පතිරණ
26/05/2022
කාන්තා සිතට වද දෙන යෝනිදාහය මේ විදියට වළක්වා ගන්න
යෝනිදාහය (වැජිනයිටිස්) ලෙස හැඳින්වෙන්නේ කාන්තාවකගේ යෝනියෙහි ඇතිවන ප්‍රදාහමය තත්ත්වයටය. එහි ප්‍රතිඵලයක් ලෙස යෝනි මාර්ගයෙහි කැසීම, එයින් ස්‍රාවය ගැලීම, එම ප්‍රදේශය ඉදිමීම ඇති වෙයි. යෝනිදාහය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු දෙකකි. ඉන් පළමුවැන්න එම ප්‍රදේශයේ ඇතිවන ආසාදන ( ඉන්ෆෙක්ෂන්) තත්ත්වයකි. දෙවැන්න අදාළ අවයවයෙහි පවත්නා බැක්ටීරියා සමතුලිතතාවයේ බිඳ වැටීමය. අර්තවහරණය නැතිනම් ඔසප් වීම නතර වීමත් සමඟ ඇතිවන ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම පහළ යෑමද සමහර සමේ රෝග තත්ත්වයන් නිසාද යෝනිදාහය ඇති වීමට පුළුවන.
යෝනිදාහය ඇතිවන ආකාරය ප්‍රධාන වශයෙන් තෙආකාරය.
බැක්ටීරියානු යෝනිදාහය
මෙයට මුල් වන්නේ ස්වාභාවික වශයෙන් යෝනි මාර්ගයෙහි පවතින බැක්ටීරියා සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ ගොස්, ස්වාභාවික බැක්ටීරියානු ප්‍රමාණය ඇති කරගෙන තිබූ තුල්‍යතාව බිඳවැටීමය.
යීස්ට් ආසාදනය
කැන්ඩිඩා ඇල්බිකන්ස් ලෙස හඳුන්වන ස්වාභාවිකව පවතින දිලීරයක් හේතු කොට ඇතිවන ආසාදනයකි.
ට්‍රයිකොමොනාසියාව
ට්‍රයිකොමොනාසිස් වැජයිනේලිස් ලෙස හඳුන්වන්නේ ස්ත්‍රී පුරුෂ ලිංග ප්‍රදේශවල අරක්ගැනීමට සමත් පරපෝෂිතයෙකි. මෙහි රෝග කාරකය මෙය බහුලිංගික සබඳතා මාර්ගයෙන් පැතිරීමට සමත් වන ආසාදනයකි.
මෙසේ යෝනිදාහයට මුල්වන හේතු කීපයක් තිබීම නිසාම ඒ සඳහා කළ යුතු ප්‍රතිකාරය ද එකිනෙකට වෙනස් වෙයි.
යෝනිදාහය ඇති රෝගියකුගෙන් දැකිය හැකි සුලබ රෝග ලක්ෂණ මෙසේය.
යෝනි මාර්ගයෙන් පිටවන ස්‍රාවයෙහි වාරණය එනම් පැහැය වෙනස් වීම (සාමාන්‍ය විනිවිද පෙනෙන ස්‍රාවය ළා කහ හෝ දුඹුරුවන් පැහැයට වෙනස් වීම සුලබය) ඉන් නික්මෙන ගන්ධය වෙනස් වීම සහ ස්‍රාවය වන ස්‍රාව ප්‍රමාණය ඉහළ යෑම, යෝනි මාර්ගය කැසීම හෝ උත්කෝපනය ඇති වීම, ලිංගික සම්බන්ධතා පවත්වන විට වේදනාවක් ගෙන ඒම, මුත්‍ර පහ කරන විට රිදීමක් දැනීම, යෝනි මාර්ගයෙන් ඉතාම සුළු වශයෙන් හෝ බිංදු වශයෙන් රුධිරය (ලේ) බැහැර වීම, මෙහි ලක්ෂණ අතර පවතියි.
යෝනිදාහය පවතින විට, යෝනි මාර්ගයෙන් ස්‍රාවය වන ස්‍රාව යන්ගෙන් දැකිය හැකි ලක්ෂණ අනුව ඒ කවර හේතුවක් නිසා ඇති වූ රෝග තත්ත්වයක් දැයි සැක කළ හැකි ඉඟි සැපයෙයි. උදාහරණ ලෙස දක්වතොත්,
බැක්ටීරියානු යෝනි දාහයේදී
ඔබගේ යෝනි ස්‍රාවය ළා දුඹුරු සුදු පැහැයක් ගනියි. ගඳ ගසන ස්වාභාවයක්, විශේෂයෙන් මාළු ගඳක් දැනිය හැකිය. ලිංගික සම්බන්ධතාවයකින් පසුව ස්‍රාවය ගලන ප්‍රමාණය වැඩි වීමට පුළුවන.
යීස්ට් ආසාදනයේ දී
මෙහිදී සුලබව දැකිය හැකි ප්‍රධානම ලක්ෂණය වනුයේ යෝනි ප්‍රදේශය කැසීමය. එහිදී සුදු පැහැ උකු (ඝන) ස්‍රාවයක් ගලනු දැකීමට ද පුළුවන. යුරෝපීය රටවල මෙම තත්ත්වයේදී පිටවන ගඳ හඳුන්වන්නේ කොටේජ්චීස් “ ගමේ ගෙවල්වල සාදන චීස්වලින් නික්මෙන් ගඳ හා සමාන ලෙසය.
ට්‍රයිකොමොනයිසිස්
කොළ - කහ පැහැයට හුරු ස්‍රාවයක් මෙහිදී බැහැර විය හැකි අතර ඒ හා සමඟ පෙණ ගතියක් ද තිබීමට හැකි බව සඳහන් වෙයි. යෝනි දාහය ඇති වීමට මුල්විය හැකි හේතු පිළිබඳ මෙසේ විමසා බැලීමට පුළුවන.
බැක්ටීරියානු යෝනිදාහය
සුලබම යෝනි දාහ තත්ත්වය මෙය වන අතර , ස්ථානීයව යෝනි ප්‍රදේශයේ පවතින බැක්ටීරියා සමතුලිතතාව බිඳහෙලමින් සංඛ්‍යාත්මකව ඉහළ වර්ධනයක් ඇති විම මෙයට හේතු වෙයි. එසේ වන්නේ කුමක් නිසාද යන්න තවමත් රහසකි. කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා බැක්ටීරියා යෝනිදාහය පැවතීමට ඇති හැකියාව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
කිසිදු ලිංගික ක්‍රියාවකට සම්බන්ධ නොවූ කාන්තාවකට වුව බැක්ටීරියානු යෝනිදාහය ඇතිවිය හැකි නමුදු, බහු ලිංගික සහකරුවන් ආශ්‍රය කිරිම හා රෝගය අතර යම් සබඳතාවක් ඇති බව පෙනී ගොස් ඇත.
යීස්ට් ආසාදනය
දිලීරමය ජීවීන් විශේෂයෙන් කැන්ඩිඩා ඇල්බිකන්ස් නම් දිලීර විශේෂය වැඩි වශයෙන් වර්ධනය වීම නිසා මෙම රෝග තත්ත්වය ඇති වෙයි. මෙහිදී මතක තබා ගත යුත්තක් නම් ලිංගික ප්‍රදේශයේ පමණක් නොව ශරීරයේ වෙනත් ස්ථානවලද මෙම ආසාදනය ඇතිවිය හැකි බවය. මුඛය, සමේ රැලි වැටුණ නැතිනම් නැමුණ තැන්, නියපොතු අවට මෙම දිලීර ආසාදනය පැවතීමට පුළුවන. කුඩා දරුවන් අතර හා වැඩිහිටියන් අතර යටට අඳින කලිසම් (ඩයපර් ආදී) නිසා ඇතිවන කුෂ්ඨයටද මෙය හේතු වෙයි.
ට්‍රයිකොමොනාසියාව
ට්‍රයිකොමොනාස් වැජයිනේලිස් ලෙස හැඳින්වෙන ඒක සෛලික පරපෝෂිතයකු ලිංගික සම්බන්ධතාවයන්හිදී සම්පේ‍්‍රෂණය වීම නිසා මෙම ආසාදනය ඇති වෙයි. රෝග ආසාදනයෙන් යුත් අයකු සමඟ ලිංගික සබඳතා පවත්වන, ආසාදිතව නොසිටින පාර්ශ්වකරුවාට මෙය වැලඳීමට ඉඩ තිබේ.
මෙම පරපෝෂිතයා පිරිමින්ගේ මුත්‍ර නාල ආසාදනය කළද රෝග ලක්ෂණ ඇති නොකරයි.
කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආක්‍රමණය කරන මෙම පරපෝෂිතයා ආසාදනය ඇති කරනවා පමණක් නොව අනෙකුත් ලිංගාශි‍්‍රතව බෝවන ආසාදන සඳහා ද මඟ විවෘත කරයි.
ආසාදනමය නොවන යෝනිදාහය
යෝනි මාර්ගය පිරිසිදු කිරීමේ අභිලාශයෙන් විවිධ ක්‍රීම් වර්ග, සබන් හා ආලේපන ගැල්වීම, සුවඳ විලවුන් හා විරංජන ස්ප්‍රේ කිරීම මෙන්ම වැසිකිළි කඩදාසි වැනි බාහිර ද්‍රව්‍ය යෝනි මාර්ගයට ඇතුළු කිරීම නිසාද අසාත්මීය එහෙත් ආසාදනමය නොවන යෝනිදාහ තත්ත්වයන් ද ඇති විය හැකිය.
යෝනිදාහය වැළැක්වීම සඳහා ඔබ ගත යුතු එක් මූලික පියවරක් වන්නේ ආසාදිතයකු භාවිත කළ ජල තටාක, වතුර භාජන ආදියෙහි බැසීමෙන් වැළකීම, ස්නානය කිරීමට ඇඟ සේදීමට, යෝනි ප්‍රදේශය සේදීමට පිරිසිදු ජලය පමණක්ම භාවිත කිරීම යනාදිය. එසේම ලිංගික ප්‍රදේශයන්හි රසායනික හා වෙනත් උත්කෝපන (කසන සුළු) ද්‍රව්‍ය නොගැල්වීමද වැදගත්ය.
වැසිකිළි භාවිතයෙන් පසු පිස දැමීම හා සේදීම පිටුපස සිට ඉදිරියට නොව ඉදිරිපස සිට පිටුපසට සිදු කිරීමට අමතක නොකරන්න. යෝනිදාහය සඳහා ප්‍රතිකාර කිරීමේදී එය බැක්ටීරියා හෝ දිලීර ආසාදනයක් ද යන්න තෝරා බේරා ගෙන ප්‍රතිකාර කළ යුතුය. ට්‍රයිකොමොනයිසිස් රෝගයේදී අඹු සැමි යුවළකට ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය විය හැකිය.
තුසිත මලලසේකර
25/05/2022
ඔන්ලයින් අධ්‍යාපනයෙන් ලැබෙන වාසි - අවාසි
අධ්‍යාපනයෙන් යම්කිසි පුද්ගලයකු ස්වයංපෝෂිත වන්නේද, ඔහු රටට, දැයට වැඩදායක උගත් බුද්ධිමත් පුද්ගලයකු වීම නිසැකය. අද අප රටට ද අවශ්‍යව ඇත්තේ උගත් බුද්ධිමතුන්ය. එබැවින් සෑම දරුවකුම උගතකු බුද්ධිමතකු කිරීමට උත්සාහ ගන්න. එයින් ඔබට ද රටට ද යහපතක් වනු නොඅනුමානය.
පුංචි සන්ධියේ පටන් ඔබ අප කවුරුත් පුරුදු පුහුණු වූයේ පාසලට ගොස් අධ්‍යාපනය හැදෑරීමටය. නමුත් කොවිඩ් ව්‍යසනයත් සමඟ පාසල් වැසි යෑම නිසා අධ්‍යාපන කටයුතුවලට විරාමයක් තබන්නට බොහෝ දරුවන්ට සිදු විය. එම අපහසුතාව තවදුරටත් වළක්වා ගැනීම අරබයා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ලංකාවේ ආරම්භ කෙරිණි. ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය මෑත භාගයේ ආරම්භ වුවද විදෙස් රටවල මෙම නව තාක්ෂණික ක්‍රමයට අනුගත වී බොහෝ කාලයක් ගත වී ඇත.
අද ඔබගේ කුඩා දරුවන් එසේත් නොමැති නම් ඔබගේ යොවුන් දරුවන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට අනුගත වී හමාරය. අලුතින් සමාජයට හඳුන්වා දෙන ඕනෑම දෙයක් හොඳ සහ නොහොඳ අතර දෝලනය වෙමින් පවතී. අද ඔබට පවසන්නේ ඔන්ලයින් අධ්‍යාපනයේ වාසි සහ අවාසිවලට අදාළ පැතිකඩයි. ඒ පිළිබඳ ඔබ දැනුවත් කරනුයේ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ මහත්මියයි.
න්‍යාය (Theory) අධ්‍යාපන ක්‍රමය
සෞඛ්‍ය ගැටලුව නිසා ඇරඹි ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඉන්ධන ගැටලුව නිසාද තවත් දීර්ඝකාලයක් පවත්වාගෙන යෑමට ඇතැම්විට සිදුවිය හැකිය. විශේෂයෙන් රටක ගැටලුවක් පවතින අවස්ථාවකදී දරුවන්ගේ අධ්‍යාපනය නොකඩවා පවත්වාගෙන යෑමට මෙම ක්‍රමය අතිශයින් වැදගත් වේ. විශේෂයෙන් පොතපත ඇසුරින් ඉගැන්වෙන න්‍යාය ක්‍රමවේදයේදී මෙම ක්‍රමයෙන් සිසුන්ට ගුණාත්මක සේවාවක් සැපයෙනු ඇත.
වෛද්‍ය අධ්‍යාපනය
පාසල් අධ්‍යාපනයෙන් පසුව එළැඹෙන වෛද්‍ය අධ්‍යාපනය සඳහද ඔන්ලයින් ක්‍රමය එතරම් සාර්ථක නොවනු ඇත.
එයට හේතුව වන්නේ සායනික පහසුකම්වලින් තොරව රෝගීන් පිළිබඳ නිසි අවබෝධයක් සිසුන්ට ලබා ගත නොහැකි වීමයි.
පහසු වේලාවක්
විශේෂයෙන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේදී දරුවන්ට සහ ගුරුවරුන්ට කාලය ඉතිරි වීමක් සිදුවේද පාසලේ ගත කරන නිශ්චිත වේලාවෙන් බැහැරව ගුරුවරයාට මෙන්ම සිසුන්ට පහසු වේලාවක් තෝරා ගෙන අධ්‍යාපනය හැදෑරිය හැකිය. සමහරවිට පන්තියේදී ගුරුවරුන්ගෙන් ප්‍රශ්න නොඅසන දරුවෙකු ඔන්ලයින් පංතියේදී ප්‍රශ්න ඇසීමට ඉඩ ඇත.
අන්තර් සබඳතා බිඳ වැටීම
පාසල් සමය ජීවිතයේ ස්වර්ණමය කාලයයි. පාසල් මිතුරු මිතුරියන් ඇසුර, ඔවුන් සමඟ කාලය ගත කරමින් දුක සැප සතුට ආදි සියලු ඇත්දැකීම් බෙදා ගැනීම, සහයෝගයෙන් සෙල්ලම් කිරීම, විවිධ ක්‍රියාකාරකම්වලට සහභාගි වීම, විවිධ ප්‍රසංග, නාට්‍ය, ක්‍රීඩා උත්සව, ක්‍රීඩා තරග ආදිය ගිලිහී යෑම ආදි සිසුන් අතර අන්තර් සබඳතා ගොඩ නැඟීමට මේ ක්‍රමය බාධාවකි. ඇතැම්විට ඉගෙන ගැනීමට තිබෙන උනන්දුව පවා දරුවන්ගෙන් ගිලිහී යනු ඇත. පන්තියේ ගුරුවරයා අසන ප්‍රශ්නයට පිළිතුරු දීමේදී දරුවන් අතර උනන්දු වීමක් ඇතැම්විට දක්නට ලැබේ. එයින් අධ්‍යාපනයට උද්‍යෝගයක් ඇති විය හැකි නමුදු ඔන්ලයින් අධ්‍යාපනයේදී ඒ නැඹුරුව ක්‍රමයෙන් ගිලිහී යනු ඇත.
පාඩමට අවධානය නොදීම
පන්තියක් තුළ ඉගෙනුම ලැබීමේදී ගුරුවරයා උගන්වන දේට සිසුන් ඇහුම්කන් දිය යුතුය. නමුත් නිවසේදී තනිවම සිටින නිසා ඇතැම්විට ඇහුම්කන් නොදී සිටින අවස්ථාද දක්නට ලැබේ. විශේෂයෙන් නිවස තුළ පරිසරයේ විවිධ වූ දේ සිදුවේ. වටපිටාවේ ඝෝෂාකාරි ශබ්ද නිසා දරුවාට පාඩමට තිබෙන අවධානය පවා අඩු විය හැකිය. ස්වයං පාලනයක් නොමැති දරුවන් ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගැනීමේදී ඇතැම්විට කැමරාව සහ මයික්‍රෆෝනය විසන්ධි කොට තමා පන්තියේ සිටින බව පෙන්නුම් කළ හැකිවේ. ඇතැම් මව්පියන් රැකියාවලට යෑමේදී මෙම තත්ත්වය පාලනය කිරීමට පවා නොහැකි වන්නේ මව්පියන් තම දරුවන්ට ජංගම දුරකතන (Smart Phone) පරිහරණයට ලබා දී රැකියාවට යන බැවිනි. ඇතැම්විට එය ඉබ්බා දියේ දැමුවාක් මෙන්ද විය හැකිය.
තිරයට ඇබ්බැහි වීම වැඩි වීම
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය නිසා දරු පරපුර තිරයට (Screen) ඇබ්බැහි වීම වැඩි වීමක් වර්තමානයේ දක්නට ලැබෙන බව ලොවම පිළිගත් මතයයි. කොම්පියුටර්, ටැබ්, ජංගම දුරකතන මව්පියන් විසින් දරුවන්ට ලබා දීම එදවස සිදු නොවුණද ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය මත සීමාවලින් තොරව දරුවන්ට මෙම තාක්ෂණික මෙවලම් පරිහරණය කිරීමට සිදු වීම දරු පරපුර මෙයට ඇබ්බැහි වීමට තවත් හේතුවක් වේ.
අක්ෂි ආබාධ
පැය ගණනාවක් දුරකතනයට හෝ කොම්පුයුටර මත දෑස් යොමු කරගෙන සිටීම හේතුවෙන් අනාගතයේදී දරුවන්ට අක්ෂි රෝග ඇති වීමේ අවදානමක් ද පවතින බව සොයාගෙන ඇත. අක්ෂිවල විඩාබර ගතිය මෙන්ම අක්ෂි දුර්වලතා ද ඇතිවිය හැක.
ක්‍රමානුකූල ජීවන රටාව බිඳ වැටීම
දරුවකු පාසල් යෑමේදී වේලාවට අවදි වී ඉතා කෙටි කාලයක් තුළ ලක ලැහැස්ති වී බසයෙන් හෝ වාහනයකින් පාසලට වෙලාවට පැමිණීම සඳහා ක්‍රියාත්මක වන ක්‍රමානුකූල ජීවන රටාව මෙහිදී දක්නට නැත. පමා වී හෝ අවදිව යන්තමින් මුහුණකට සෝදා ඔන්ලයින් පන්තිය ආරම්භ වූ පසු පරිගණකය හෝ දුරකතනය ක්‍රියාත්මක කර සුවසේ නිදාගන්නා අවස්ථාද නැතුවා නොවේ. මෙය යථාර්ථවාදී ලෙස බැලූ විට හැඟී යන්නේ දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනයක් නොලැබෙන බවයි. සමහර දරුවන් යම් යම් හේතුන් මත ප්‍රමාද වී නිදාගැනීම මෙන්ම පාන්දරින් අවදි වීම පවා මේ නිසා මඟහැරී යනු ඇත.
ශාරීරික ක්‍රියාකාරකම් ඇන හිටීම
මින් දරුවන්ගේ ජීවන රටාව මුළුමනින්ම වෙනස් වීමට ඉඩ ඇති බැවින් දරුවන් එකතැන සිටීමට පුරුදු වේ. ඒ හේතුව මත ශාරීරික ක්‍රියාකාරකම් ඇන හිටීමට ලක්වී දරුවන් ස්ථුලතාවට පත්වී රෝගීන් වීමට ද කරුණු කාරණා සැලසේ.
අවම පහසුකම් ඇති පිරිස්
දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම කෙතරම් ඉහළ වුවත් ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණ නොවූ පිරිසක් ද වේ. විශේෂයෙන් අඩු ආදායම්ලාභි අඩු පහසුකම් ඇති පිරිසට බොහෝවිට මෙබඳු පහසුකම් අවමය. විශේෂයෙන් ඈත දුෂ්කර පළාත්වල දරුවන්ට පරිගණක, Smart Phone ආදි මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැත. මූල්‍යමය ගැටලු නිසා ඔවුන් එදිනෙදා වේල සපයා ගන්නේද අපහසුවෙනි. සමහර පළාත්වල සිග්නල් පහසුකම් නොමැති අතර එම දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීමේ අපහසුතාවයක්ද පවතී. මේ හේතුව මත දුෂ්කර පළාත්වල අඩු ආදායම් ලාභි දරුවන්ට මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය සාර්ථක නොවනු ඇත.
ඇති නැති පරතරය වර්ධනය වීම
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ වඩාත් වාසිදායක තත්ත්වය වනුයේ අන්තර්ජාල පහසුකම් Smart Phone පහසුකම් ආදිය තිබෙන්නේ නම් පමණි. ඇතැම්විට මෙම ඔන්ලයින් ක්‍රමය හරහා ඇති නැති පරතරය තවදුරටත් වර්ධනය වීමට මෙය හේතුවක් විය හැකිය.
විභාග පිළිබඳ රහස්‍යභාවය
ඔන්ලයින් ක්‍රමයට විභාග පැවැත්වීමේදී එහි රහස්‍යභාවය පිළිබඳ ගැටලුවක් පවතින අතර විශ්වසනීයත්වයද බිඳ වැටෙනු ඇත. නමුත් විදෙස් රටවල ඔන්ලයින් ක්‍රමයට විභාග පැවැත්වීමේදී එයට සරිලන අයුරින් විශ්වසනීයත්වයක් ගොඩ නැගෙන ලෙස තාක්ෂණය ක්‍රියාත්මක කෙරෙන අතර ලංකාවේද එවැනි අයුරින් නවතම තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් සිදු කරන්නේ නම් ආර්ථිකයටද විශාල ඉතිරියක් වනු ඇත. එබැවින් ඔන්ලයින් අධ්‍යාපනය දිගුකාලීනව ලබා දෙන්නේ නම් අවශ්‍ය පහසුකම් සෑම දරුවකුටම සලසා දීම වැදගත්ය. විශේෂයෙන් දරුවන්ට නොගැළපෙන විවිධ වූ අසභ්‍ය දේ දරුවන් නැරඹීමෙන් වැළැක්වීමට තාක්ෂණික බාධා පැමිණවීම ද අතිශයින් වැදගත් වේ.
දීප්ති ෆොන්සේකා
18/05/2022
ජංගම දුරකතනයට ඇබ්බැහි වූ දරුවන්ට අනාගතයේ සිදුවන දේ
පරිගණක, රූපවාහිනි තිරය, වීඩියෝ, ජංගම දුරකතනවල තිරය මත යම්කිසි පුද්ගලයකු කාලය ගත කරන්නේ නම් එය හඳුන්වන්නේ Screen time ලෙසය. මෙලෙස ඉහත සඳහන් කළ ඕනෑම විද්‍යුත් උපකරණයක තිරය වෙත තම දෑස් දල්වා සිටිමින් එය සමඟ දවසේ පැය විසිහතරෙන් වැඩි කාලයක් ගත කිරීම වර්තමානයේ බොහෝ දෙනා අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. බාල, මහලු, තරුණ මේ සියලුම පිරිස් අද මෙම තිරය වෙත නැඹුරු වී අවසන්ය. මේ නැඹුරුව කෙසේදයත් එය ඇබ්බැහි වීමක් දක්වා දුර දිග ගොස් හමාරය.
එදා අපගේ සන්නිවේදන අවශ්‍යතා සියයට සියයක්ම සපයා දුන්නේ රේඩියෝව ගෘහස්ත දුරකතනය, ටෙලිග්‍රෑම් සහ පුවත්පත් මගිනි. පසුව රූපවාහිනියේ ආක්‍රමණයත් සමඟ කනින් පමණක් ඇසූ එසේ නොමැති නම් ලියකියවිල්ලකට, පත්තර කොළයකට පමණක් සීමාවූ තොරතුරු සන්නිවේදනය පසුව සියැසින් දැකබලා ගැනීමට තරම් අපි වාසනාවන්තයෝ වීමු .එසැණ පුවත් ඒ මොහොතේම සජීවි ලෙස අප ඉදිරියේ දර්ශනය වීමට තරම් රූපවාහිනි නාළිකා මෙන්ම වර්තමානයේ ඔබ අප භාවිත කරන ජංගම ස්මාට් දුරකතනයට හැකි වීම තාක්ෂණයේ දියුණුව මොනවට කියා පෑමකි.
ජීවිතයේ බොහෝ කලක් ගෙවා සිටින වැඩිහිටි පරපුරට වඩා විශාල වශයෙන් ළමා පරපුර මෙම තාක්ෂණික මෙවලම් සමඟ ගනුදෙනු කරන කාලය පිළිබඳ ගැටලුවක් මතු වී තිබේ. අනාගතයේ අපේ රට බාර ගැනීමට සිටින මේ දරු පරපුර නිමක් නොමැතිව මෙලෙස ඇබ්බැහි වීම නිසා සිදුවන අනිසි ප්‍රතිඵල පිළිබඳ ඔබ දැනුවත් කරනුයේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ මහත්මිය විසිනි.
අන්තර් සබඳතා ගිලිහීම
දරුවන් නිතරම ජංගම දුරකතනයට ඇබ්බැහි වීම නිසා දරුවන්ට බලපාන ප්‍රධාන ගැටලු අතර සිතීමේ හැකියාව සහ නිර්මාණශීලිත්වය ක්‍රමයෙන් බැහැර වීම කැපී පෙනේ. දරුවන්ගේ මොළයේ වර්ධනය අඩු වීමට විශාල බලපෑමක් මේ නිසා ඇතිවිය හැකිය. දරුවන් අතර අන්තර් සබඳතා ඇති වීමට මෙය බාධාවකි. ඇතැම් දරුවෝ සෑම මොහොතකම දුරකතනය වෙත යොමු වීම නිසා ඔවුනොවුන්ගේ මුහුණ දෙස බැලිම පවා ගිලිහී යන අවස්ථා බොහෝය. ඇතැමෙක් පවසන දෙයකට වුවද ප්‍රති උත්තර නොදී ජංගම දුරකතනය දෙස බලා සිටීම නිසා අන්තර් සබඳතා ගිලිහෙනු ඇත. මේ අන්තර් සබඳතා කුඩා කල සිටම ගිලිහී ගියහොත් අනාගතයේදී ඔවුන් වැඩිහිටියන් වූ පසුවද සමාජීය ගති ලක්ෂණ ක්‍රමයෙන් ගිලිහී තමා හුදකලා වීමක් ද සිදුවිය හැක.
නින්දට බාධා
දුරකතනයට ඇබ්බැහි වූ දරුවන්ගේ නින්දට බාධා ඇතිවන බව විද්‍යාඥයන් විසින් සොයොගෙන ඇත. දරුවන්ගේ වර්ධනයට හෝර්මෝන ක්‍රියාකාකාරීත්වයට නින්ද අත්‍යවශ්‍යය. නමුත් නින්දට බාධා ඇති වීමේදී දීර්ඝකාලීනව ගැටලු මතුවිය හැකිය.
ප්‍රකෝපකාරී බව
සමහර දරුවන් ප්‍රකෝපකාරී වීමට එක් හේතුවක් ලෙස ජංගම දුරකතනයට ඇබ්බැහි වීම දක්නට ලැබේ. එසේම එක අරමුණක් ඔස්සේ හඹා යෑම එක දෙයකට හිත යොමු කිරීම ආදි ධනාත්මක දේ මේ නිසා ක්‍රමයෙන් දරුවන්ගෙන් ගිලිහී යනු ඇත.
ස්ථුලභාවය
වර්තමාන ජන සමාජයේ තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ස්ථුලතාවයි. විශේෂයෙන්ම එක්තැන්වී ජංගම දුරකතනයක් සමඟ දවස ගෙවන දරුවන් ස්ථුලභාවයට පත් වීමද වළක්වා ගත නොහැක.
නිවසේ අඩදබර
මේ ඇබ්බැහිවීම් හේතුවෙන් විශේෂයෙන් ඇතැම් දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය මුල් කොට නිවසේ දරුවන් මව්පියන් අතර අඩ දබර පවා ඇතිවිය හැකිය. පවුල තුළ තිබෙන සමගිය සමාදානය ගිලිහි යනු ඇත. දවසේ පැය විසිහතරෙන් වැඩි කාලවේලාවක් ජංගම දුරකතනය සමඟ සිටීමේදී දරුවන්ට අධ්‍යාපනය සඳහා වැය කිරීමට කාලයක් නොමැති තරම්ය. අධ්‍යාපන කටයුතු හෝ වේවා දරුවාගේ දියුණුව සඳහා යොදන කාලය මෙම තිරය මත ගෙවීමට සිදුවන බැවින් කාලය අපතේ යෑමක් සිදුවී දරුවාගේ අධ්‍යාපනය පවා මොට වීමට බලපානු ඇත.
අන්තර් සබඳතා ගිලිහී යෑම හේතුවෙන් තමාගේ හිත මිතුරන් ළඟ සිටින උදවියගේ මුහුණේ ඉරියව්වල වෙනස්වීමක් පවා හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වේ. පුද්ගලයකුගේ මුහුණේ හැඟීම් ප්‍රකාශන කිසිවක් මේ දරුවන්ට නොතේරෙනුයේ ඔවුන්ට එකිනෙකාගේ මුහුණ බැලීමට පවා වේලාවක් නොමැති හෙයිනි. මේ හේතුන් මත සහකම්පනය නොමැති පිරිසක් බිහි වීම වැළැක්විය නොහැකි බව පර්යේෂණවලින් සොයාගෙන ඇත.
දරුවා ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඇති බව දැනගන්නේ කොහොමද?
මව්පියන් වශයෙන් දරුවන් ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඇති බව දැන ගැනීම අතිශයින් වැදගත් වේ. එසේ නොවුණහොත් දරුවන්ගේ අනාගතය පිළිබඳ මව්පියන්ට ඇති වනුයේ අනිසි බියකි. මෙවැනි දරුවන්ගේ ආනාගතය කොයිබටද යන්න පිළිබඳ ඔවුන් තුළ යම්කිසි සැකයක් මතු වේ. එබැවින් මෙවැනි දරුවන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වනුයේ දරුවන් මේ ඇබ්බැහි වීමෙන් වළක්වා නොගතහොත් එය අනාගතයට විශාල ගැටලුවක් වන බැවිනි. තම දරුවා Sceeen එකට එනම් තිරයට ඇබ්බැහි වූවෙක් ද නැද්ද යන්න දැන ගැනීම සඳහා මව්වරුන්ට දැකගත හැකි අවස්ථා ඇත. දරුවා පාන්දර අවදි වූ වහාම සහ රාත්‍රියේ නිදාගන්නා මොහොතේදී ජංගම දුරකතනය අතැතිව සිටී නම් එයින් හැඟී යන්නේ දරුවා ජංගම දුරකතනයට ඇබ්බැහි වූවකු බවයි. එය හොඳ ලක්ෂණයක් නොවේ. යම් හෙයකින් තමා අත ජංගම දුරකතනය නොමැති වූ විට දරුවා සෑම විටම නොසන්සුන්තාවයෙන් සිටීම බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මව්පියන් විසින් දරුවා අතැති ජංගම දුරකතනය ඉවත් කිරීමකදී දරුවා කෝප වී ඇතැම් විට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමක් ද දක්නට ලැබේ. මෙය ඇබ්බැහි වීමේ ලක්ෂණයකි. විශේෂයෙන් මෙම දරුවන් මනංකල්පිත ලෝකයක ජීවත් වන බව සොයාගෙන ඇත.
දරුවන්ට Screen Time ලබා දිය යුතු කාලය
දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවය පිළිබඳ ලෝකයේ පවතින විශේෂිත වූ ආයතන මඟින් දරුවෙකු සඳහා වෙන්වූ “Screen Time” හෙවත් තිරයේ සිටිය යුතු කාලය පිළිබඳ මාර්ගෝපදේශකයක් හඳුන්වා දී තිබේ. අවුරුදු 2කට වඩා අඩු දරුවකුට ජංගම දුරකතනයක් හෝ රූපවාහිනි තිරය වෙත යොමු වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පෙන්වා දී තිබේ. එයට හේතුව වන්නේ වයස අවුරුදු 2කට වඩා අඩු දරුවන්ට එය මොළයේ වර්ධනයට බලපාන අතර දරුවා නිරන්තරයෙන් දුරකතනය වෙත දෑස දල්වා සිටීම හේතුවෙන් කුඩා කල සිටම සන්නිවේදනය බාධාවන්ට ලක්වී දරුවාගේ කථනයේ වර්ධනය අඩාළ වීමය. විශේෂයෙන් නිසි වයස් කාලසීමාව තුළ දරුවා කතා කිරීමට ප්‍රමාදයක් දක්වන බව හදුනාගෙන ඇත.
වයස අවුරුදු 5න් ඉහළ දරුවන්ට පමණක් ලබා දෙන්න
වයස අවුරුදු 2-4 දක්වා දරුවන්ට දිනකට පැයක කාලයක් පමණක් දුරකතනය ලබා දීම ගැටලුවක් නොවන අතර වයස අවුරුදු 5 ඉක්මවූ දරුවෙකුට දරුවාගේ අධ්‍යාපනය අනුව දරුවාගේ විනෝදාංශය අනුව මව්පියන් විසින් දරුවාට ලබා දි යුතු “ Screen time” තීරණය කළ හැකි නමුත් එම කාලය දිනකට පැය 6කට වඩා වැඩි නොවිය යුතුය. එසේ නොවුණහොත් දරුවන් මෙම ජංගම දුරකතනයට ඇබ්බැහි වීම වළක්වා ගත නොහැකි වේ.
මව්වරුන්ගේ වැරැදි
මව්වරුන් පිළිබඳ සිදු කළ සමීක්ෂණයකදී සනාථ වූයේ ඇතැම් මව්පියන්ගේ ක්‍රියා කලාපද දරුවාගේ ඇබ්බැහි වීමට හේතු වී තිබෙන බවයි. මව්වරුන් තමාගේ වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා දරුවන්ට ජංගම දුරකතනය ලබා දීම බොහෝවිට සිදු කරන්නකි. නමුත් එයින් සිදුවන ප්‍රති විපාක ඔවුන්ට අවබෝධ වනුයේ දරුවා ජංගම දුරකතනයට ඇබ්බැහි වීම වළක්වා ගැනීමට නොහැකි වූ පසුවය.
තම විවේක සුවය සඳහා දරුවාට ටැබ් එක ජංගම දුරකථනය ලබා දීමට කිසිදු අවස්ථාවක මැලි නොවීමද සුලබව දක්නට ලැබෙන දර්ශනයකි. ඇතැම් මව්වරුන් ඉහළ සමාජයේ එකිනෙකා පරයමින් වැජඹෙන්නට දරුවා උපයෝගී කර ගන්නා අවස්ථා ද නැතුවා නොවේ. තම දරුවාට ජංගම දුරකතය ටැබ් ඔස්සේ නරඹන්නට ලබා දෙන විවිධ වැඩසටහන් පිළිබඳ උජාරුවෙන් පැවසීමද අද සමාජයේ දක්නට ලැබෙන කරුණකි. දරුවාව සතුටින් තබන්නට හොඳම ක්‍රමය මෙය බව ඇතැම් මව්වරුන් සිතා සිටීමද අද සමාජයේ බොහෝ විට දක්නට ලැබේ.
දරුවන් පමණක් නොවෙයි අම්මලා තාත්තලත් ඇබ්බැහි වෙලා
වර්තමානයේ බෙහෙවින් දක්නට ලැබෙන සිද්ධියක් වනුයේ වැඩිහිටි පරම්පරාවද ජංගම දුරකතනයට ඇබ්බැහි වී සිටීමයි. ඔවුන්ද උදෑසන අවදි වූ විගස අතට ගන්නේ ජංගම දුරකතනයයි. ඇතැම්විට රැකියාවේ කටයුතු හෝ වේවා යු ටියුබ් ඔස්සේ නැරඹිය හැකි " dossip” හෝ මේවා වැදගත් වැඩසටහනක් හෝ වේවා පුවත්පත්හි තොරතුරු හෝ වේවා මේ මොන යම් දෙයක් වුවද නැරඹීමේදී මෙම ජංගම දුරකථන තිරයෙන් දෑස් ඉවත් කර ගැනීමට වැඩිහිටි පරම්පරාවට ද නොහැකි තත්ත්වයක් අද පවතී. මෙම අදුරදර්ශී පූර්වාදර්ශයට දරුවන් ද නිතැනින්ම පෙලඹී සිටීම අවසානයේ මව්පියන්ට වළක්වා ගත නොහැක.
නිදන කාමරය
නින්දකට යෑමේදී ටැබ්, ජංගම දුරකථනය ළඟ තබා ගැනීම නිදන කාමරයේ පරිගණකය එසේත් නොමැති නම් රූපවාහිනි යන්ත්‍රය තබා තිබීමත් දරුවන්ට මේ ඇබ්බැහි වීම්වලට පොලඹවන තවත් හේතුවකි. නිදන කාමරයේ කිසිදු තිරයක් නොතැබිය යුතුය යන්න විදෙස් රටවල විද්‍යාඥයන් විසින් පර්යේෂණ පවත්වා සනාථ කොට ඇත.
විද්‍යුත් තිරයෙන් දරුවා ගලවා ගන්න
විශේෂයෙන් පැවසිය යුත්තේ දරුවාට ආහාර දීමට පහසුම ක්‍රමය ලෙස දුරකථන ලබා දීමෙන් වැළකීමත් දරුවකුට නිසි කාලයක් පමණක් තිරයේ සිටීමට කාලය වෙනස් කර දීමත් පමණි. තවද හැකි පමණ දරුවා රූපවාහිනි තිරය ටැබ් හෝ දුරකතන තිරය මත කාලය ගත කිරීම වළක්වාලීමය. පවුලේ සතුටු සාමීචිය, කතාබහ, ආහාර ගන්නා වේලාවලදී මෙම විද්‍යුත් තිරය දරුවාට ලබා දීමෙන් වැළකිය යුතුය. හැකි පමණ දරුවාට ක්‍රීඩාවට, සහ සබඳතා ගොඩ නගා ගැනීමට යොමු කිරීම වැදගත් වේ. එමඟින් ක්‍රමයෙන් විද්‍යුත් තිරයෙන් දරුවා ගලවා ගැනීමට මවට හැකි වනු ඇත.
ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ළමා රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
මනෝරි ගමගේ
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Lake House , No 35, D. R. Wijewardena Mawatha
Colombo
10100
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |