SL Eye Doctor

SL Eye Doctor

Share

04/05/2026

👁‍🗨දෘෂ්ථි පථයේ පෙනෙන මකුළු දැල්, කෘමි සතුන්, කුඩා තිත් වැනි පාවෙන සෙවණැලි (Floaters) කියන්නේ මොනවාද?🤔

Floaters කියන්නේ ඔබේ දර්ශන පථය තුළ දිස්වන කුඩා තිත්, නූල් වගේ හෝ ජාලා වගේ හැඩයන්. ඇස තුළ ඇති ජෙලිමය තරලයේ(vitreous) විව්‍යහාත්මක වෙනස්කම් නිසා දෘෂ්ථි විතානයට ඒවා පාවෙන සෙවණැලි මෙන් දිස්වෙන්නට පුලුවන්

👁‍🗨එක් වරම දෘෂ්ථි පථයේ දකින අකුණු ගසන්නාක් වැනි ආලෝකයන් (Flashes) මොනවාද?🤔

Flashes කියන්නේ ඇස තුළ විදුලි කෙටීමක් මෙන් ආලෝකයක් කෙටි වේලාවකට දිස් වීම. මෙය සිදු වන්නේ එක් වරම දෘෂ්ථි විතානය ඇදීමකට ලක් වීමෙන්. එවන් අවස්ථාවකදී සැබෑ ආලෝක සංවේදනයක් නැති අවස්ථාවකදී පවා ආලෝක ප්‍රභවයක් දකිනවා වැනි හැඟීමක් ඇති වෙනවා.

👁‍🗨කොහොමද මේව වෙන්නෙ? කලින් මෙහෙම තිබ්බෙ නෑනෙ. 🤕

ඔබේ ඇසේ කාචයත්, දෘෂ්ථි විතානයත් අතර තිබෙනවා ජෙලටනීමය තරලයක් (Vitreous). එය කුඩා හා තරුණ කාලයේ ඇස පසුපස ඇති දෘෂ්ථි විතානයට තදින් බැදී තිබෙනවා. වයසත් සමඟ මේ ජෙලටනීයමය තරලයේ විව්‍යහාත්මක වෙනස්වීම වෙනවා. එහි ඝණ වීම් ඇති වෙනවා. හැකිලෙනවා. මෙහෙම හැකිලෙද්දී එය දෘෂ්ථි විතානය සමඟ තියෙන බැදීම් ගැලවෙනවා.
Vitreous හි ඇති වන මෙකී ඝණවීම් හා දෘෂ්ථි විතානය සමඟ බැදීම් ගැලවුන තැන් දැන් සෙවනැලි වගේ ඊට පිටිපස තිබෙන දෘෂ්ථි විතානය මත පේන්න පටන් ගන්නවා.
Floaters ඇති වෙන්නෙ ඔහොම.

කලින් කිව්වා වගේ Vitreous හැකිලෙද්දී, එය කලින් දෘෂ්ථි විතානය හා තදින් බැදිල තිබ්බ නිසා, දෘෂ්ථි විතානය ඇදීමකට ලක් කරනවා. ඒ උත්තේජනය දෘෂ්ථි විතානය සලකන්නේ හදිසි ආලෝක ප්‍රභවයක් විදියට. එවන් අවස්ථා තමයි අපි Flashes විදියට අත් විදින්නෙ.

👁‍🗨මේවා සාමාන්‍ය දේවල්ද?🙄

බොහෝ විට ඔව්.
වයස වැඩිවීමත් සමඟ ඇසේ ඇති ජෙලටනීය තරලයේ විව්‍යුහාත්මක වෙනස් වීමත් සමඟ බොහෝ දෙනාට මෙවැනි තත්ත්වයන් අත් දක්නට ලැබෙනවා.
නමුත් හදිසි වෙනස්කම් ඇසේ වෙනත් භයානක තත්ත්වයන් ගැන දෙන ඉඟියක් වෙන්න පුලුවන්. ඒ නිසා කෝකටත් වෛද්‍යවරයෙක් හමුවෙලා ඔබ අත්විඳින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් කියල තහවුරු කර ගන්න තරමට හොදයි.

👁‍🗨දැන් නම් ටිකක් බයත් හිතෙනවා. මොන වගේ අවස්ථාවකදිද ඉතා ඉක්මනින් අක්ෂි වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන?🚨

මෙම ලක්ෂණ තිබුණොත් ඉක්මනින් අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යන්න:

* හදිසියේ floaters වැඩි වීම
* Flashes
* දෘෂ්ථි පථය ඉදිරියේ කොටසක් හෝ සම්පූර්ණයෙන් තිරයක් දමා අඳුරු කර ඇති ලෙස පෙනීම.
* පෙනීම හදිස්සියේ අඩුවීම

මෙවැනි ලක්ෂණ ඇසේ දෘෂ්ථි පටලයේ ඉරීමක් හෝ වෙන් වීමක් වෙන්න පුලුවන්.

👁‍🗨Flashes, Floaters ඇති වෙන්න වැඩි අවදානම කාටද?🥹

* වයස 45 ට වැඩි අය. කලින් කිව්වනෙ, මේක වයසත් එක්ක ඇති වෙන තත්ත්වයක්
* දුර නොපෙනීම (myopia) තියෙන අය.
* ඇස තුල ශල්‍යකර්ම කළ අය, ඇස අනතුරු වලර ලක්වූ අය.
* දියවැඩියා රෝගීන්.

👁‍🗨Floaters හරි කරදරයක්. මේක නැති වෙයිද?🥹

කාලයත් සමඟ ඔබේ මොළය තේරුම් ගන්නවා මේ සෙවනැලි අපිට පේන්න අවශ්‍ය දෙයක් නෙවෙයි කියලා. ඒ අනුව මොළෙන්ම ඒවා නොපෙනී අමතක කරන්න යෙදෙනවා. ඉතින් කාලටත් සමඟ ඔබට Floaters දැකීම ක්‍රමිකව අඩු වෙනවා.

👁‍🗨Flashes සහ floaters නිසා අන්ධ විය හැකිද?🥹

සාමාන්‍යයෙන් නැහැ. නමුත් කලින් කී පරිදි දෘෂ්ථි පටකට ගැලවුනොත් එවැනි අවදානමක් තියෙනවා.

👁‍🗨මේ ලක්ෂණ තිබුණොත් මොකද කරන්න ඕනේ?

අතපසු නොකර ඉක්මනින් අක්ෂි වෛද්‍යවරයෙකු හමුවන්න. මේක සාමාන්‍ය තත්ත්වයක්ද, ඊට එහා ගිය ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයක්ද කියල තහවුරු කර ගන්න.

30/03/2022

කණ්ණාඩිය ඇහැක් හැටියට පරිස්සම් කර ගමු
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿

කණ්ණාඩි රැක බලා ගන්නෙ කොහොමද?

කණ්ණාඩිය ක් කියන්නෙ ආයෝජනයක්. ඔබට පැහැදිලි පෙනුමක් ලබා දෙන්න වගේම ඔබේ බාහිර පෙනුම වර්ධනය කරන්නත් කණ්ණාඩියකට පුලුවන්. ඒ වගේම හොද මට්ටමේ කණ්ණාඩියක් මිලදී ගැනීමේදී ඔබ සැලකිය යුතු මුදලක් වියදම කරනවා. ඒ නිසා කණ්ණාඩිය හොදින රැක බලා ගන්න ඕන.

මුලින්ම අපි බලමු කණ්ණාඩියක් පිරිසුදු කිරීමේදී කල යුතු, නොයුතු දේවල් මොනවද කියල
*******************************************************************

කණ්ණාඩිය සෝඅදන්න කලින් ඔබේ අත් හොදින් පිරිසුදු වෙන්න ඕන. අත් වල දූවිලි, තෙල් ගතිය වගේ තියෙන්න බෑ.
ටැප් එකකින් ගලා යන කාමර උෂ්ණත්වයේ වතුරින් පලමුව කණ්ණාඩියේ බැදිල තියෙන දූවිලි ටික සෝදා හරින්න. ඊට පස්සෙ සබන් දියර බින්දුවක් කාච මත තවරල ඇගිල්ලෙන් පිරිමදිමින් කාච පිරිසුදු කරන්න. ඒත් එක්කම් කණ්ණාඩි රාමුවෙත් පිරිසුදු කරන්න. ඊට පස්සෙ නැවතත් ටැප් එකට අල්ලල ඔක්කොම සබන් ඉවත්ව යනතුරු සෝදන්න. සබන් එහෙම ඉතුරු උනොත් ඒක කාච මතුපිට පටලයක් වගේ බැ‍ඳෙන්න පුලුවන්.
මෙහෙම පිරිසුදු කර ගත්ත කණ්ණාඩිය පිරිසුදු, මෘදු, කපු රෙදි කඩකින් පිරිමැද පිරිසුදු කර ගන්න. ඔය කණ්ණාඩි කාච පිරිසුදු කරන විශේෂිත ස්ප්‍රේ එකක් තියෙනව නම් එකෙන් ස්ප්‍රේ කරල රෙදිකඩින් පිරිසුදු කරන්න පුලුවන්.

නාන ගමන් කණ්ණාඩි පිරිසුදු කරන්න යන්නෙ එපා, ඇඟේ, කොණ්ඩෙ ගාන ගැල්වුම්, උණු වතුර නිසා ඔබේ කණ්ණාඩි කාචයේ මතුපිටට හානි වෙන්න පුලුවන්.
කණ්ණාඩිය තෙත් කරන්නෙ නැතුව පිහිදාන්න යන්න එපා. එතකොට කණ්ණාඩිය මතුපිට හෝ පිහිදමන රෙදි කඩේ තියෙන දූවිලි වලට කණ්ණාඩි කාචය හීරෙන්න පුලුවන්. අනෙක, කණ්ණාඩිය පිරිමැද පිරිසුදු කරන්න ටිෂූ, ටොයිලට් පේපර් වගේ පාවිච්චි කරන්න එපා. ඒවායෙ රලු ගතියට කාච මතුපිට සීරීම ඇති වෙන්න පුලුවන්.
කණ්ණාඩි කාචෙට කෙල ගහල හරි, ප්‍රාශ්වාස කරල හරි පිරිසුදු කරන්න යන්න එපා. ඒකෙන් අවශ්‍ය තෙතමනය ලැබෙන්නෙ නෑ. අනෙක ටිකක් අජූතයි නේද?
කණ්ණාඩි මතුපිට සීරීම් උලා දමන්න යන්න එපා. එමගින් සීරීම් තවත් වැඩි වෙන්න පුලුවන්. හුඟක් සීරිම් ඔබේ පෙනුමට ලොකු බලපෑමක් ඇති කරන්නෙ නැහැ.

දැන් අපි බලබු කණ්ණාඩිය පරිහරණයේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු
***********************************************************************

කණ්ණාඩිය ගැලවීමේදි හා දෑමේදී අත් දෙකම පාවිච්චි කරන්න. කණ්ණාඩිය කන මත රදවන Temple දෙක අත් දෙකෙන් අල්ලන් මේ වැඩේ කරන්න. රාමුව ඇද වෙන්න තියෙන අවස්ථාව මෙමගින් අඩු වෙනවා.
කණ්ණාඩිය හිසේ පලදින්න යන්න එපා. ඔබේ හිස මුහුණට වඩා පළල් නිසා රාමුව ඇදෙන්න පුලුවන්.
කණ්ණාඩිය මේසයක් වගේ උසින් තියෙනවනම් එහි කාච උඩ අතට සිටින සේ තියෙන්න. නැත්නම් කාචෙ හීරෙන්න පුලුවන්.
කණ්ණාඩිය බෑගයේ දා ගන්නවනම් එය දෘඩ කණ්ණාඩි කවරෙක දාල බෑග් එකට දාගන්න. පාවිච්චි නොකරන හැම වෙලාවකම මෙවැනි කවරෙක කණ්ණාඩිය දාල තියන්න පුලුවන් නම් හොදයි.
ඔබට කණ්ණාඩිය නිතර අමතක වෙනවනම් glass code එකක් අරන් කණ්ණාඩියට සවිකර ගන්න. එතකොට පාවිච්චි නොකෙරුනත් කණ්ණාඩිය පපුව උඩ එල්ලි එල්ලී තියේවිනෙ.
කණ්ණාඩිය ගිණි ගහන අවිවේ වාහනේ දාල යන්න එපා. විශේෂයෙන් dashboard එක උඩ. ඒ අධික රස්නෙට රාමුව ඉරි තලන්න පුලුවන්

තව විස්තර බලන්න අපේ බ්ලොග් අවකාශය දිහාත් ඇවිත් යන්න
shorturl.at/izCP7

Photos from SL Eye Doctor's post 31/08/2021

👁️‍🗨️ මොකක්ද මේ "විෂම දෘෂ්ඨිකත්වය" කියන්නෙ?

විෂම දෘෂ්ඨිකතවයේදී වෙන්නෙ අපේ ඇහේ තියෙන ප්‍රධාන වර්තක පෘෂ්ඨ 2, ඒ කියන්නෙ කුණිතය හා කාචයේ මතුපිට තිබෙන වක්‍රතාවයේ අසමානතා පරිසරයෙන් එන ආලෝක කිරණ ඇසේ දෘෂ්ඨි විතානය මත නාභිගත වෙනවා වෙනුවට වෙනත් ලක්ෂ කිහිපයක නාභිගත වෙන එක. එතකොට මොළයට ඇසෙන් යවන්නේ බොඳ වුන අපැහැදිලි ප්‍රතිබිම්භයක්.
බොහෝ වෙලාවට මේ වක්‍රතාවයේ අසමානකම අපි දකින්නේ කුණිතයේ. මෙවැනි අවස්ථාවක, කුණිතයේ විවිධ අක්ෂ වල විවිධ වක්‍රතාවයන් තමයි තියෙන්නෙ. සර්ව සම්පූර්ණ කුණිතයක් නම් එහි සැම අක්ෂයක් දිගේම තියෙන්න ඕන වක්‍රතාවය එකක් වෙන්න ඕන. දැන් විවිධ අක්ෂ දිගේ තියෙන වක්‍රතාවයන් විවිධයි කිව්වනෙ. මේවයින් වඩාත්ම වැඩි හා අඩු වක්‍රතාවයන් තිබෙන අක්ෂ දෙක තමයි මූලික අක්ෂ විදියට හදුනා ගන්නෙ. සාමාන්‍යයෙන් බහුලව දකින Regular astigmatism කියන තත්ත්වයේදී මේ මූලික අක්ෂ දෙක පිහිටල තියෙන්නෙ එකිනෙකට අංශක 90ක් ඈතින්. කලාතුරකින් දකින Irregualr astigmatism කියන තත්ත්වයේදී මේ මූලික අක්ෂ දෙකේ වෙන් වීම අංශක 90ට වඩා අඩුයි හෝ වැඩියි.

👁️‍🗨️ විෂම දෘෂ්ඨිකත්වයේ රෝග ලක්ෂණ මොනවද?

මූලිකම දේ තමයි සෑම දුරක තිබෙන වස්තුවක්ම බොඳ වෙලා පෙනීම. හැබැයි ඉතින් පොඩි කාලේ ඉදන් මේ තත්ත්වෙ තියෙන කෙනෙකුට මේ බොඳ ගතිය එහෙමට තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්. සමහර අය වස්තූන් ඇදවලා, පා වෙනව වගෙත් අත් විදින්න පුලුවන්. මීට අමතරව ඇස් ආශ්‍රිත වේදනාව, දීර්ඝ කාලීන හිසරදය වගේ තත්ත්වත් ඇති වෙන්න පුලුවන්.
හැබැයි ඉතින් බොහෝ දෙනෙක් දන්නෙ නැහැ තමන්ට විෂම දෘෂ්ඨිකත්වය තියෙනව කියලත්.

👁️‍🗨️ මේක හුඟක් පොදු තත්ත්වයක්ද?

ඔව්. අපි හුඟක් අයට විෂම දෘෂ්ඨිකත්වය තියෙනවා. ඉතා අඩු අගයකින් හරි. නමුත් හුඟක් අයට ඒක පෙනුමේ අඩුවක් තියෙනව කියල තේරෙන මට්ටමට දරුණුවට නැහැ.

👁️‍🗨️ ඒ කියන්නෙ "විෂම දෘෂ්ඨිකත්වය" තියෙන කට්ටියට අර පෙනුම බලන chart එකේ අන්තිම පේලිය කියවන්නත් පුලුවන්?

ඔව්. විෂම දෘෂ්ඨිකත්වය මද වශයෙන් තියෙන කෙනෙකුට 6/6 පේලිය කියවන්න පුලුවන්. හැබැයි කිසිම ගැටලුවක් නැති කෙනෙකුට වඩා ඒක ඔහුට තරමක් අපැහැදිලි වෙන්න පුලුවන්.
කොහොමත් විෂම දෘෂ්ඨිකතවය තියෙන කෙනෙක් කණ්ණාඩි, සිවි කාච හෝ LASIK සැත්කමක් කරාම ඔහුට 6/6 පේලිය ගැටලුවක් නැතුව කියවන්න පුලුවන්.

👁️‍🗨️ මේක පරම්පරාවෙන් එන තත්ත්වයක්ද?

ඇතැම් "විෂම දෘෂ්ඨිකතව"පරම්පරාවෙන් එන්න පුලුවන්. හැබැයි හැම තිස්සෙම එහෙම වෙනව කියල නෑ.

👁️‍🗨️ මොන වයසෙදිද විෂම දෘෂ්ඨිකත්වය ඇති වෙන්නෙ?

මෙහෙමයි. ඉපදෙද්දිම අපේ ඇස් වල යම් මට්ටමක කුණිතයේ වක්‍රතාවයේ අසමානතා තියෙනව. ඒක ඇස් බෝලයේ වර්ධනයත් එක්ක ක්‍රමිකව අඩු වෙලා වයස අවුරුදු 2දී බොහෝ දුරට සාමාන්‍ය මට්ටමට එනව. ඇතමෙකුගෙ මේ තත්ත්වය දිගටම තියෙන්න පුලුවන්.
අනෙක් අතට පසු කාලීනව අනතුරු නිසා ඇති වෙන විෂම දෘෂ්ඨිකත්වය ඕනම වයසකදි එන්න පුලුවන්. "කෙරටොකෝනස්"(Keratoconus) කියන තත්ත්වය නිසා එන විෂම දෘෂ්ඨිකත්වය නව යොවුන් වියේදී ඇති වෙලා හරි ප්‍රතිකර්මයක් නොලැබුනොත් වයස අවුරුදු 35 විතර වෙනකන් ක්‍රමිකව වැඩි වෙන්න පුලුවන්.

👁️‍🗨️ විෂම දෘෂ්ඨිකත්වය නිසා "ඇම්බයෝපියා" (Amblyopia) තත්ත්වය ඇති වෙන්න පුලුවන්ද?

පුලුවන්. අනිත් දෘෂ්ඨි ආබාධ වගේම, කුඩා දරුවන්ගේ විෂම දෘෂ්ඨිකත්වය ඉක්මනින් හදුනා ගෙන ප්‍රතිකාර කලේ නැතොත් ඒ ඇසෙන් එන අපැහැදිලි රූප ක්‍රමයෙන් මොලයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේකෙ අවසාන ප්‍රතිථලය වෙන්නෙ ඒ ඇස මොලයෙන් සම්පූර්ණයෙන්ම අමතක කර දැමීම. එහෙම වුනොත් නැවත ඒ ඇස මොලයට හදුන්වා දෙන එක ඉතාමත් අසීරුයි. ඒ නිසා කුඩා දරුවන්ගේ විෂම දෘෂ්ඨිකතවය වගේම ඕනෑම දෘෂ්ඨි ආබාධයක් හැකි ඉක්මනින් හදුනා ගෙන ඊට නිසි ප්‍රතිකාර කරන්න ඕන.

👁️‍🗨️ කොහොමද කෙනෙකුට විෂ්ම දෘෂ්ඨිකත්වය තියෙනවද කියල දැන ගන්නෙ?

මූලිකවම කණ්ණාඩි පරීක්ෂණයේදී ඔබට පැහැදිලි පෙනුමක් ගන්න සිලින්ඩර කාච යොදන්න වෙනවනම් ඔබට විෂම දෘෂ්ඨිකත්වය තියෙනව කියල හදුනා ගන්න පුලුවන්. ඊට අමතරව topography, tomography ආදී පරීක්ෂණ මගින් කුණිතයේ ඉදිරි හා පි‍ටුපස වක්‍රතාවයෙන්, ඒ ඒ වක්‍රතා තිබෙන අක්ෂයන්, ඒ ඒ ස්ථාන වල වර්තන අගයන් වගේ සංකීර්ණ දත්ත අරගන්න පුලුවන්. ඒ දත්ත විෂ්ම දෘෂ්ඨිකත්වය තහවුරු කර ගන්න වගේම ප්‍රතිකාර ක්‍රම නිර්ණය කරන්නත් වැදගත් වෙනවා.

👁️‍🗨️ හරි. දැන ගත්ත කියමු. කොහොමද විෂම දෘෂ්ඨිකත්වයට ප්‍රතිකාර කරන්නෙ?

දැනට ලංකාවෙ තියෙන ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම ගැන මම කරන්නම්. කණ්ණාඩි, සිවි කාච හා LASIK සැත්කම්.
ඊට අමතරව ලෝකයේ දැනට Orthokeratology කියල ප්‍රතිකාර ක්‍රමයක් හදුන්වා දෙමින් තියෙනවා. මේකෙදි කරන්නේ නිදා ගෙන ඉන්න කාලයේ දෘඩ සිවි කාචයක් පලදින එක. එතකොට නිදා ගෙන ඉන්න කාලයේදී කුණිතයේ වක්‍රතාවය මේ සිවි කාචයෙන් තාවකාලිකව වෙනස් කරනවා. උදේ ට මේ සිවි කාචෙ ගැලෙව්වම කුණිතයේ හැඩය වෙනස් වෙලා තියෙන නිසා එදා දවල් දවස තුල කණ්ණාඩි හෝ සිවි කාච නොමැතිව පැහැදිලි පෙනුමක් රෝගියාට ලැබෙනව. නමුත් මේක තවම ලංකාවෙ ක්‍රියාත්මක වෙන ක්‍රමයක් නෙවෙයි.

👁️‍🗨️ මෙහෙම හිතන්නකො. මට විෂම දෘෂ්ඨිකතවය තියෙනවා. මම කණ්ණාඩි හෝ සිවි කාච දාන්නම ඕනද?

නැහැ. මේක කලිනුත් කිව්වනෙ. ඉතා සුලු ප්‍රමාණයේ විෂම දෘෂ්ඨිකත්වය තියෙන අය පෙනීම පරීක්ෂා කරන බෝඩ් එකේ 6/6 පේලියත් කියවනවා. ඉතින් කණ්ණාඩි අත්‍යාවශ්‍ය නෑ. හැබැයි ඔබ නිසි කණ්ණාඩිය හෝ සිවි කාචය දැම්මොත් පුදුම වෙයි ලෝකය ඔබ දැක දැක හිටියට වඩා කොච්චර පැහැදිලිද කියල.

👁️‍🗨️ ඩොක්ට කියන්න, කණ්ණාඩිද, සිවි කාචද මේ තත්ත්වයේදි දාන්න හොද?

දෙකම හොදයි. ආරක්ෂිතයි. ඵලදායී.
හැබැයි ඔබට තියෙන්නෙ Irregular astigmatism, Mixed astigmatism වගේ ටිකක් සංකීර්ණ විෂම දෘෂ්ඨිකත්වයන් නම්, සිවි කාච තමා හොද.

👁️‍🗨️ විෂම දෘෂ්ඨිකත්වයට කියල මම ඊයේ කණ්ණාඩිය ගත්ත. මට ටිකක් අමුතුයි වගේ. ඒක් normal ද?

මෙහෙමයි. කණ්ණාඩි නෝදාපු කෙනෙක් පලමු වරට කණ්ණාඩි දැම්මම ටිකක් අමුතුයි මුල් දින කිහිපයෙ. මේක විෂම දෘෂ්ඨිකත්වයට දෙන සිලින්ඩරාකාර කාච එක්ක ටිකක් වැඩී. හැබැයි ඕක සතියකින් වගේ හරි යනවා. තරුණ වයසේ අයට මේ "හුරු වීමේ කාලය"තවත් අඩුයි.
හැබැයි ද්ගටම මේ අමාරුකම් තියෙනවනම් ඔබේ අක්ෂි වෛද්‍යවරයා හමබ වෙන්න. සමහර විට කණ්ණාඩියේ මිනුම් හෝ කණ්ණාඩියේ සැකසුම වැරදි වෙන්න පුලුවන්.

👁️‍🗨️ මම විෂම දෘෂ්ඨිකත්වයට ප්‍රතිකාර විදියට ගත්තෙ සිවි කාච. මටත් මුල් දවස් වල ඔය කිව්ව වගේම අපැහැදිලි තත්ත්වයක් ආවනෙ ඩොක්ට

ඔව්. කණ්ණාඩි වලට කිව්ව වගේම "හුරු වීමේ කාලයක්"සිවි කාච සදහාත් තියෙනවා. නමුත් මේ තත්ත්වය දින 3-4 ට වඩා තිබ්බොත් ඔබේ අක්ෂි වෛද්‍යවරයා හමබ වෙන්න. ඔබේ සිවි කාචයේ මිනුම් හෝ සිවි කාචය ඇසට සවි වී පිහිටීමේ ගැටලුවක් තියෙනව වෙන්න පුලුවන්.

👁️‍🗨️ ඔච්චර කියපු එකේ LASIK ලේසර් සැත්කම ගැනත් කියන්න ඩොක්ට

මේකෙදි කරන්නෙ ලේසර් කිරණ මගින් කුණිතය නැවත හැඩ ගැන්වීමක් කරනවා. මේ ක්‍රමය කලින් කියපු Irregular Astigmatism, Mixed Astigmatism වගේ සංකීර්ණ විෂම දෘෂ්ඨිකත්ව වලදි හොද ප්‍රතිකාර ක්‍රමයක්. හැබැයි වියදම අධිකයි.

👁️‍🗨️ සල්ලි නම් කමක් නෑ ඩොක්ට. මගේ බබාට තියෙන විෂම දෘෂ්ඨිකත්වයට මට LASIK එකක් කර ගන්න පුලුවන්ද?

LASIK කරන්නෙ නම් ඇසේ වර්ධනය සම්පූර්ණයෙන් නතර වුනාට පස්සෙ. ඒ කියන්නෙ වයස අවුරුදු 18ට පස්සෙ. අනෙක් අතට, LASIK ඇත්කමට කලින් ඔබේ විෂම දෘෂ්ඨිකත්වයේ අගය වසරක් පුරාවට වෙනස් නොවී තියෙන්න ඕන. වරින් වරට වෙනස් වෙන විෂම දෘෂ්ඨිකත්වයට LASIK කරන්න බෑ.

👁️‍🗨️ මගේ මාමාට අවුරුදු 56 දි කාච ඔපරේෂන් එකක් කරා. එයාට ඉස්සර ඔය විෂම දෘෂ්ඨිකත්වය කියල එකක් තිබ්බෙ නෑ. හැබැයි සැත්කමට පස්සෙ පොඩි සිලින්ඩර කාචයක් සහිත කණ්ණාඩියක් දාන්න වෙයි කියල කිව්ව. ඒ කියන්නෙ සුද ඔපරේෂන් කරාට පස්සෙ විෂම දෘෂ්ඨිකත්වය එන්න පුලුවන්ද?

සුද ඔපරේෂන් කරන Phacoemulsification කියන සැත්කමේදි ඇස ඇතුලට යන්න කුණිතයේ පිටතින් 2mm ප්‍රමාණයේ පොඩි කැපුමක් දානවා. ඉතින් මේ කැපුම සුව වෙද්දි එන කබොලෙන් කුණිතයේ හැඩය කලාතුරකින් වෙනස් වෙන්න පුලුවන්.
අනෙක් අතට මෙහෙම හිතමු. කාච ඔපරේෂන් එකට කලින් විෂම දෘෂ්ඨිකත්වය තියෙන කෙනෙකුගේ කුණිතයේ වක්‍රතාවය වැඩි අක්ෂය හොයා ගැන ඒ අක්ෂයේ ඔය කැපුම දැම්මොත් සැත්කම් ඉවර වෙද්දි සුද නැති වෙනව විතරක් නෙවෙයි, කුණිතයත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.
තවත් දෙයක්, දැන් මුලදිම කිව්වනෙ කුණිතයේ හෝ කාචය මතු පිට වක්‍රතාවයේ ගැටලු නිසා තමයි විෂම දෘෂ්ඨිකත්වය එන්නෙ කියල. අපි මෙච්චර වෙලා කතා කලේ කුණිතය නිසා එන විෂම දෘෂ්ඨිකත්වය ගැන. මොකද ඒක තමයි බහුල. හැබැයි ඇතැම් විටක කාචය මතුපිට තිබෙන වක්‍රතා අසමානතාවය කුණිතයේ වක්‍රතා අසමානතාවයට හිලවු වෙලා විෂම දෘෂ්ඨිකත්වය අහෝසි වෙලා තිබ්බ වෙන්නත් පුලුවන්. ඉතින් මේ වගේ කෙනෙකුගෙ ස්වභාවික කාචය අයින් කරල වෙනත් කාචයක් දැම්මම අර අහෝසි වීම නැති වෙලා කුණිතයේ වක්‍රතා අසමානතාවය කැපී පේන්න පටන් ගන්නව. වෙනත් විදියට කිව්වොත් විෂම දෘෂ්ඨිකත්වය තිබ්බෙ නැති කෙනෙකුට විෂම දෘෂ්ඨිකත්වය ආව වගේ වෙනව.
කොහොම නමුත් කාච ඔපරේෂන් කියන්නෙ කිතා ආරක්ෂික, ඉනා හොද ප්‍රතිඵල දෙන සැත්කමක්. අහඹු සිදු වීම් නිසා ඒ සැත්කම ගැන අනවශ්‍ය බියක් ඇති කර ගන්න ඕන නැහැ.

පින්තූරත් එක්ක වැඩි දුර විස්තර බලන්න අපේ Blog අවකාශය පැත්තෙන් ඇවිත් යන්න
https://bit.ly/3BrCMsJ

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo