Maathra

Maathra

Share

19/03/2024

පෙළ පෙළ දෙපිලට සැදි අඟනෝ
දිය කෙළිනා ....තම් දෙන තානා...
දියට බසී - කෙළි කවටින්
එදිය කෙළින සැටි බලන් තුටින්..
අපගේ නවතම ගීත හා ප්‍රාසාංගික එළි දැක්වීම් සඳහා "මාත්‍රා" යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
https://www.youtube.com/

02/02/2024

'මාත්‍රා' සමඟ ශ්‍රී ලාංකේය කලාව සොයා යමු !
🎭 දේශීය නර්තන හා වාදන ක්ෂේත්‍රයේ පියසාර ශිල්පාධිපති ලකුණ

රී ලාංකේය නර්තන හා භේරි වාදන කලාව මතු පරපුරට උරුම කිරීමේ ජාතික කර්තව්‍යයට ඍජුව දායක වු අප කථානායකයාණන් තත් ශිල්පයන් පාරම්පරිකව විශිෂ්ට ලෙස ප්‍රගුණ කළ ශිල්පියෙකි. වර්ෂ එක්දහස් නවසිය හතළිස් පහේ මාර්තු මස දහනව වන දින ශිල්පාධිපති සාරංගා හා සව්වාති යන දෙදෙනාට දාව පොල්ගහවෙලදී ජන්මලාබය ලැබු පියසාර මහතා පොල්ගහවෙල ශාන්ත බර්නාදෙන් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබු අයෙකි.ප්‍රසිද්ධ නර්තන ශිල්පියකු වු සයිමන් ශිල්පාධිපති හා තම සුලු පියා ශිල්පා ගුරු යටතේ ශිල්ප හදාරා 1958 වසරේ දී තම කලඑළි මංගල්‍යය පොල්ගහවෙල වැලිගොඩ පිටිය විහාරස්ථානයේ දි පවත්වා ශිල්පාධිපති කලායතනයේ ගුරුවරයකු වශයෙන් අත්දැකීම් ලද පියසාර මහතා 1965 වසරේ දී ජර්මානු තානාපති නිවසේ පැවති සංදර්ශනයක් සඳහා චිත්‍රසේන මහතාගේ ඇරයුමින් පැමිණීම මොහුගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය.

පසුකාලීනව චිත්‍රසේන වජිරා කලායතනයේ නිර්මාණයන්ට සම්බන්ධ වී නෘත්‍යාංජලී, නවාංජලි ආදී ප්‍රසංගයන්හි වාදකයකු ලෙස ද කරදිය ,කිංකිණි කෝලම අදි මුද්රාජ නාට්‍යන්හි නර්තන ශිල්පියකු ලෙස ද එම ආයතනයේ ගුරුවරයකු වශයෙන් ද ඇගයීමට පාත්‍ර වු මෙතුමා පද්මභුෂණ වජිරා චිත්‍රසේන මහත්මිය සමඟ එම ආයතනයේ නිර්මාණ රාශියක් එළි දැක්වීමෙහිලා දායකත්වය ලබා දී ඇත.

1968 රජයේ ලලිත කලායතනයට ඇතුළත්ව, 1974 වසරේ සය අවුරුදු පාඨමාලාව නිම කොට 1974 වසරේදී කපිතාන් දෙල්වල මහතා රත්මලානේ පිහිට වු නර්තන කණ්ඩායමේ පුහුණුවීම් පවත්වාගෙන ගිය මෙතුමා ඉන්පසු 1975 රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පියකු බවට පත්විය.1976 වසරේදී හොරණ ශ්‍රී පාලි කලායතනයේ නර්තන උපදේශවරයකු ලෙස පත්වීම් ලැබු අප කථානායකයන් 1977 වසරේදී චන්ද්‍රකාන්ති නම් වු තරුණ ශිල්පිණිය සමඟ යුගදිවි ආරම්භ කිරීම ශ්‍රී ලාංකේය කලා කෙත අස්වැද්දිමෙහිලා පසුබිමක් ගොඩනැගුණු මහඟු අවස්ථාවකි.මේ ගුරු දෙපළගේ එකම දියණිය වු මාධවී තම මව මෙන්ම දක්ෂ ගායිකාවක ලෙස පසුකාලීනව තම පියාගේ නිර්මාණයන්ට දායක වී ඇත.

දේශීය වශයෙන් අප කථානායකයාණන් නර්තන මෙන්ම වාදන නිර්මාණ රාශියක් ජනගත කොට ඇති නිර්මාණකරුවෙකි. ඔහුගේ නිර්මාණයන්හි සම්ප්‍රදායික ගති ලක්ෂණ මනාව පිළිබිඹු කෙරෙන අතරම ප්‍රසාංගිකත්වණය ඉතා ඉහළ තලයක පැවතීම සුවිශේෂත්වයකි. ප්‍රසාංගික කලාව ආශ්‍රිත කුමන නිර්මාණයක දි වුවද නිර්මාණකරුවාගේ දෘෂ්ටිය හා ශික්ෂණය ඉතා වැදගත් වේ. එමෙන්ම නිර්මාණකරුවා තුළ ඇති මුලික විෂය ක්ෂේත්‍රය හා සම්බන්ධ පසුබිම්ගත ඥානය හා පරිකල්පනයන් එහි සාර්ථකත්වකය උදෙසා බලපානු ඇත. මෙනයින් බලන කල පියසාර නම් වු නිර්මාණකරුවා මේ ඥානයෙන් සුපෝෂිත වු අයෙකි. එබැවින් ඔහු සමාජගත කරනු ලැබු සමුහ වාදන, සංධ්වනි නූතන නිර්මාණකරුවන් අතර ද නොනැසී පවතින්නේ මෙකී ඥානයන්ගෙන් ලැබු පෝෂණය නිර්මාණගතව තිබීමේ හේතුවෙනි. 1994 “කලාශූරි” සම්මානයෙන් හා 2003 “ දේශිය නර්තන කිර්ති ශ්‍රී ” ජනාධිපති සම්මානයන්ගෙන් පුද ලබන්නේ දේශීය කලාව උදෙසා කරනු ලැබු මෙකී සේවයට උපහාර වශයෙනි.

1978 කැලණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ උපදේශකවරයෙකු ලෙස පත් වු පියසාර නම් වු අග්‍රගණ්‍ය කලාකරුවා2005 වසරේදි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය දක්වා ආ ගමන්මගේ නොමදව ගෞරවයට පාත්‍ර වු නිහතමානී ආචාර්යවරයා බව සඳහන් කරන්නේ ගෞරවයෙනි. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මෙතුමාට ආචාර්ය උපාධිය 2012 වසරේ පිරිනමනු ලබන්නේ කළ සේවයට උපහාර වශයෙනි.

පියසාර සූරින්ගේ දේශීය නර්තනය විදේශයන්හි ප්‍රචලිත කිරීමේ ආරම්භය 1967 අප්‍රේල් මස 28 වැනිදින දින චීන සංචාරයත් සමගිනි.ඒ වන විට අවුරුදු 22 ක තරුණයකු වු මොහු 1999 වසර වන විට විදේශ සංචාර හැට පහක් ඉක්මවා සහභාගි වු අයෙකි.CONTEMPERORY DANCE SCHOOL OF MODERN BALLET DAVID HIGH SCHOOL OF ARTBELMOST JUNIOR SCHOOLJANAKO ARTS CENTREALBERT MUSEUM ආයතනයන්හි දේශිය නර්තන හා වාදනය පිළිබඳ සංදර්ශන හා වැඩමුළු පවත්වා දේශීය නර්තනය හා වාදන කලාවට කීර්තියක් ලබාදීමත් බ්‍රිතාන්‍ය ජාතික ශබ්ද සංරක්ෂණාගාරය ( NATIONAL SOUND ARCHIVE) හි දේශීය බෙර වාදනයන් පටිගත කර තැබීමට සමත් වු එකම ශිල්පියා වීමේ ගෞරවය හිමිවුයේ 1987 දී කරන ලද බ්‍රිතාන්‍ය සංචාරයෙනි.දේශීය භාණ්ඩ උපයෝගි කරගනිමින් විදේශීය ශිල්පීන් සමඟ යුගල වාදන ඉදිරිපත් කිරීම මේ කලාකරුගේ කැපී පෙනෙන දස්කමක් වු අතර ,එයින් දෙස් විදෙස්හී මහත් කීර්තියට පත්වු ශිල්පියකු ලෙස සඳහන් කළ හැකිය.

අමෙරිකාවේ මෙතුමා ශිල්ප දැක්වු ආයතන අතර ,කැලිෆෝනියා විශ්ව විද්‍යාලය ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලය, කැලිෆෝනියා ශාන්ත බාබරා විශ්ව විද්‍යාලය, ආසියාතික කෞතුකාගාරය, ගැමි කලා සහ අත්කම් පිළිබඳ කෞතුකාගාරය, කැලිෆෝනියා ලලිත කලායතනය, ඕටින් චිත්‍ර පාසල, උත්ලා විශ්ව විද්‍යාලය, වික්ටරි පාසල වැනි ආයතන ඉතා වැදගත් ස්ථාන සේ සඳහන් කළ හැකිය.

1991 දි “ SOUND OF DRUMS ” නමින් ශ්‍රී ලාංකීය බෙර වාදන ශිල්පය පිළිබඳ කැසට් පටයක් මොහු විසින් නිපදවන ලදී.ලාංකීය බෙරවාදන නුදුටු විදේශිකයන් සඳහා හඬ මගින් අවබෝධයක් ලබා ගැනීමට හැකි පරිදි නිපද වු මෙය ඉංග්‍රීසි භාෂාවෙන් විස්තරාත්මකව ඉදිරිපත් වේ. “ සින්ග්ලංකා ” අායතනයේ ආරාධනය පරිදි සකස් වු මෙකී කැසට්පටය ශ්‍රී ලංකාවේ නර්තන හා වාදන ක්ෂේත්‍රය තුළ පළමු වතාවට ඉංග්‍රීසි මාධ්‍යයෙන් බෙර වාදන අංක පිළිබඳ තොරතුරු සඳහන් කෙරෙන කැසට්පටය ලෙස සඳහන් කළ හැකිය.මේ කැසට් පටය ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක බෙදා හැර ඇති අතර එතුළින් දේශිය බෙර වාදනය පිළිබඳ විදේශයන්හි අවධානය යොමු වී ඇත.

1999 ජුලි මස ඇමරිකාව සහ කැනඩාව යන රාජ්යතවල පියසාර ශිල්පාධිපති මහතා විසින් දේශීය නර්තනය සහ බෙර වාදනය ඉදිරිපත් කිරීමට කරන ලද සංචාරය මෙහි ලා වැදගත් වන අවස්ථාවකි.ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි නිර්මාණ ආයතනය (CENTER FOR THE STUDY OF SRI LANKAN CULTURE ) කැනඩාවේ ඔටාවා නගරයේ ඔඩ්සි රඟහල පදනම ( ODYSSEY THEATRE ) යන ආයතන එක්ව කරන ලද ආරාධනය අනුව මෙකී සංචාරය සිදුකරන ලද අතර එම ආයතනයන්හි පරමාර්ථය වී ඇත්තේ එම රටවල උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ අවශ්‍යතාව තකා එකී ආයතනවල දේශීය නැටුම් හා බෙර වාදන පිළිබඳ ප්‍රායෝගික දේශන හා වැඩමුළු පැවැත්වීමය.

මේ හැරුණු කොට 1999 මැයි 15 සහ මැයි 16 යන දිනයන්හිදි ලොස් ඇන්ජලීස් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එහි සිංහල සංගමය මගින් සංවිධාන කර තිබු නැටුම් පිළිබඳ වැඩමුළුව මෙහිලා වැදගත් වන්නේ එරටදී උපත ලද සිංහල දරුවන්ට අපගේ ජාතික උරුමයක් වන දේශිය කලාව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට හැකි වු බැවිනි.1999 මැයි 19 වැනි දින ශාන්ත බාබරා විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් වෙනුවෙන් දේශීය නර්තන ,ගායනය ,වාදන පිළිබඳ ප්‍රායෝගික දේශනයක් පැවැත් වීමෙන් විශ්ව සංගීතය හදාරණ ( WORLD MUSIC)උපාධි අපේක්ෂකයන්ට ශ්‍රී ලංකික කලාවන් පිළිබඳ අවබෝධයක් ලබාදුනි.නිදර්ශන සහිතව පැවැත්වුණු මේ වැඩමුළුව සාර්ථක කර ගැනීමෙහිලා කාන්ති ශිල්පාධිපති හා මාධවී ශිල්පාධිපති ශිල්පිනියන්ගේ සහභාගිත්වය ඉතා වැදගත් වු බවට තොරතුරු ලැබේ.

ආචාර්ය පියසාර ශිල්පාධිපති නම් වු අප කලාකරුවාණන් දෙස් විදෙස්හි පතල ප්‍රවීණයකු පමණක් නොව එකි ශිල්ප ඉගැන්වීමෙහි ලා අතිදක්ෂ ගුරුවරයෙකි.දේශීය අවනද්ධ භාණ්ඩ අතරට ගැවුල නම් වු සුවිශේෂි බෙරයක් හඳුන්වා දී ඒ සඳහා වාදන ශෛලියක්ද හඳුන්වා දුන් අයෙකි.සාම්ප්‍රදායික තම්මැට්ටමට දඩු බෙරය එක් කර වාදනය කිරීමේ රටාව වත්මනට හඳුන්වාදීමද ශ්‍රේෂ්ඨ කර්තව්‍යයකි. මොහු විසින් දේශීය නර්තන හා වාදන කලාව පිළිබඳ ගවේශනාත්මක ලිපි පළ කිරීමත් සංදර්ශණාත්මක දේශණ පවත්වමින් දේශිය කලාවන් ජනගත කිරීමට ගත් උත්සාහය මෙහිලා කෘතවේදීව සඳහන් කළ යුතුය.

නර්තන වාදන කලාවේ සෞන්දර්යාත්මක සුලලිත වු ප්‍රායෝගික ක්‍රියාවලියේ නවතම සොයාගැනීම් හා නවතම ප්‍රායෝගික භාවිතයන් හා වත්මන් පරපුරට දායාද කිරීමේ පුරෝගාමි මෙහෙවරක පෙරගමන් කරුවකු වන අප කතානායකයන් මානව දයාවෙන් පිරිපුන් ආචාර්යවරයකු ලෙස සටහන් තබන්නේ අප ලද දීර්ඝ කාලීන ගුරු ඇසුර පිළිබඳ ගෞරවයෙනි.

( නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා දිණමිණ පුවත්පතට ලියූ ලිපියකි )

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
00100