Kavindya Rathnayake

Kavindya Rathnayake

Share

06/06/2026

ටැටූ - 27 පරිච්ඡේදය
ලන්ඩන් නුවරට උදා වන ශීත සෘතුවේ උදෑසනන් සැමවිටම අළු පැහැති මීදුමකින් සහ සිහින් හිරු එළියකින් බර වී තිබුණි. මගේ කුඩා මහල් නිවාසයේ වීදුරු කවුළුව අසල හිඳගෙන, උණුසුම් කෝපි කෝප්පයකින් නැඟෙන දුම් රොටු දෙස බලා සිටි මගේ මතකයන් නිරායාසයෙන්ම වසර තුනකට පෙර මා හැරදමා ආ මෙල්බන් නුවරට පියෑඹුවේය.
ඔව්, මම ලන්ඩන් නුවරට පැමිණ දැන් වසරතුනක් ගත වී අවසන්ය. කවිනාශ් රෝයි සහ ඔහුගේ දියණිය අශේරා මට ලබා දුන් ඒ ජීවන මඟ ඔස්සේ පැමිණි මම, අද වන විට ලන්ඩන්හි ප්‍රකට තොරතුරු තාක්ෂණ ආයතනයක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරමි. කවිනාශ් අයියා එදා මගේ අත තැබූ ඒ සහතික කළ ලියුම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. මම මගේ උපාධියේ ඉතිරි කොටස ඉතාමත් ඉහළින් සමත් වෙමින්, මගේම උත්සාහයෙන් මේ තත්ත්වයට පත් වූයේ හදවත ඇතුලාන්තයේ දැඩි වේදනා සඟවා ගනිමිනි.

කුඩා කාළයේ සිටම හදවතට දැඩි පීඩනයක් වේදනාවක් දැණුනු වහා එය අමතක කරගැනීමට මා විසින් කලේ අරමුණු වෙත්ම මාවතකට යොමු කිරීමයි, එකී පුරුද්ද නිසාම මේ වන විට මම බොහෝ ඉදිරියට පැමිණ සිටිමි .අද වනවිට මම කිසිවෙකුගෙන් හෝ නොයැපෙන, ආර්ථික වශයෙන් සහ වෘත්තීය වශයෙන් පූර්ණ ස්ථාවරත්වයක් ලබා ගත්, ස්වාධීන ගැහැනියක වෙමි. නමුත් ඒ බාහිර සාර්ථකත්වය යටින් මගේ හදවත ඇතුළාන්තය තවමත් පිරිී තිබුණේ නොනිමෙන රිදවීම් සහ තනිකමකිනි.මම හැමදාම රාත්‍රියට නින්දට යන්නේ මගේ පපුවමැදින් මතුවන මහා බරක් දරාගෙනය. මට අවිනාශ්ව මතක් නොවුණු එකම එක තත්පරයක්වත් මගේ ජීවිතයේ තිබුණේ නැත. ඔහුගේ ඒ ගැඹුරු දෙනෙත්, මෘදු ස්පර්ශයන් සහ මගේ නවාතැනේදී අපබෙදාගත් ඒ සුන්දර ආදරයේ හෝරාවන් මගේ ආත්මය පුරා තවමත් ජීවමානව පැවතුණි.
ඒ සියල්ලටම වඩා මාගේ හදවත දවාලූයේ මගේ පුංචි දියණියයි. ඇය දැන් අවුරුදු තුනක සුරංගනාවියක වී ඇතිවාට සැක නැත. ඇගේ අම්මාගේ අතැඟිලි නොඅල්ලාගෙන වූවත් ඇය ඇවිදින්නට ඇත, අම්මා යැයි කියා වෙනත් ගැහැනිකයට අමතමින් ඇය හුරතල් බසින් බහතෝරන්නට ඇත... ඇතැම් විට මේවන විට ඇය ළදරු පාසැලක ඉගෙන ගන්නවා වන්නට ඇත. වසර තුනක් යනු දීර්ඝ කාලයකි. මේ වෙද්දී ඇය වයසින් වැඩී සිටිනවා ඇත. ජීවියේ නවමු කඩයිම් පසුකරනවා ඇත. නමුත් ඒ හැම මොහොතකම ඇගේ ම අම්මා ඇය අසල සිටියේ නැත.
"දෝණි...මගේ මැණික..."
මම නිතරම මගේ පපුවට අත තබාගෙන රහසින් මුමුණන්නෙමි. කවිනාශ් අයියා එදා කී වදන් මගේ හිතට මහා ශක්තියක් විය. මගේ දුවනිය සිටින්නේ ඇගේ සැබෑ පියා වන අවිනාශ්ගේ සෙවනැල්ල යටය. ඉනෝකා ඇයට සර්ව සම්පූර්ණ මවක වී ආදරය දෙන බව කවිනාශ් අයියා සහතික කළේය. අවිනාශ් ඒ කිසිවක් නොදැන, ඇය කුලවද්දාගත් දරුවෙකු ලෙස සිතා ඇයට පණ මෙන් ආදරය කරන බව මම දනිමි. ඔහු එවන් මානුශීය ගුණ ඇති මිනිසෙකි.

මගේ ලේ වලින් උපන් දුව, තමන්ගේම පියාගේ රැකවරණය මැද සුවෙන් සිටිනවා යන සිතුවිල්ල පමණක් මගේ බිඳුණු මනස සවිමත් කරගන්නට මට තිබුණු එකම පිටුවහල විය. මම මගේ වේදනාවන් මගේ ශක්තිය බවට පත් කරගතිමි. මේ වසර තුන පුරාවටම මා ලැබූ ලොකුම ජයග්‍රහණය වූයේ
මගේ ජීවිතයේ ශාපයන් ව සිටි මගේ තාත්තා, එරන්ද දුනුකාරගෙන් සහ විපුල බාප්පාගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වීමට හැකි වීමයි. ලන්ඩන් නුවරට පැමිණි සැණින් මම මගේ පැරණි දුරකථන අංක, සමාජ මාධ්‍ය ගිණුම් සහ මගේ පරණ ඊමේල් ලිපිනයන් සියල්ල සදහටම අක්‍රීය කර දැමුවෙමි. කවිනාශ් අයියාගේ මාර්ගයෙන් මම මගේ නීතිමය ලියකියවිලි සහ වීසා තත්ත්වයන් අලුත් කරගත් අතර, එහිදී මගේ තාත්තාට හෝ අතුල බාප්පාට සොයාගත නොහැකි වන ලෙස මගේ සියලු තොරතුරු රහසිගතව තබා ගැනීමට මම වගබලා ගත්තෙමි.
ඔවුන් එදා පර්ත් නුවරදී මගේ රැකියා බලපත්‍රය හරහා මාව ලුහුබැඳ ආ බව මම අමතක නොකළෙමි. එනිසාම මෙහිදී මම මගේම බැංකු ගිණුම් සහ වෘත්තීය අනන්‍යතාවයන් ඉතාමත් ආරක්ෂිතව පවත්වාගෙන ගියෙමි. මම මගේ තාත්තාගේ ධනයට හෝ නමට තවදුරටත් අයිතිකාරියක නොවෙමි. ඔහුට දැන් මාව පාලනය කිරීමට හෝ ඔහුගේ රූකඩයක් කර ගැනීමට කිසිදු ඉඩක් ඉතිරි වී නැත. මම ඔවුන්ගේ ඒ කුරිරු ලෝකයෙන් සදහටම මිදී,ඔවුන්ට කිසිදා ළඟා විය නොහැකි ඈතක මගේම ස්වදේශයක් ගොඩනඟා ගෙන සිටියෙමි.
සවස් යාමයේ ලන්ඩන් නගරයට සිහින් වැස්සක් ඇද හැලෙන්නට විය. මම මගේ කාර්යාලයේ වැඩකටයුතු නිමවා නිවස බලා යාමට සූදානම් වන විට, මගේ ලැප්ටොප් තිරය මත කවිනාශ් අයියාගෙන් ලැබුණු පුද්ගලික ඊමේල් පණිවිඩයක් දිස් විය. මගේ හද ගැස්ම වේගවත් විය. මම වහා එය විවෘත කළෙමි.
එහි තිබුණේ කිසිදු වදන් පෙළක් නොවේ; කුඩා ඡායාරූපයක් පමණකි. ඡායාරූපය දුටු සැණින් මගේ දෑස්වලින් කඳුළු කැට කඩා හැලුණේ මගේ මුවින් සිහින් සිනහවක් පිට වෙද්දීය. එහි සිටියේ අවිනාශ් ය. ඔහු සෝපාවක් මත හිඳගෙන සිටි අතර, ඔහුගේ උකුල මත ඉතාමත් සුරතල්, රෝස පැහැති ගවුමකින් සැරසුණු අවුරුදු තුනක කුඩා දියණිය වාඩිවී සිටියාය. ඇය අවිනාශ්ගේ රැවුලෙන් අදිමින් සිනාසෙද්දී, අවිනාශ් මින් පෙර මා කවරදාකවත් නොදුටු ආකාරයේ
අතිශය ආදරණීය, නිවුණු සිනහවකින් දියණිය දෙස බලා සිටියේය. ඒ මගේ දුවය... මගේ සහ අවිනාශ්ගේ ආදරයේ එකම ටැටූ සලකුණයි. ඇගේ ඒ විශාල දෙනෙත් සහ මුවඟ සිනහව මගේම රූපය කැඩපතකින් බලන්නාක් මෙන් මට පෙනුණි. අවිනාශ් තවමත් නොදන්නවා වුණත්, ඔහු ඒ රැකබලා ගන්නේ තමන්ගේම ලේ ය. අපගේ අදාරෙය් ක්ෂේෂය වූ එකම ප්‍රාණීයාය.
මම මගේ ලැප්ටොප් තිරය මත වූ මගේ දියණියගේ සහ අවිනාශ්ගේ මුහුණ මගේ ඇඟිලි තුඩුවලින් සෙමින් පිරිමැද්දෙමි.
‘අවී... මගේ රත්තරන් දෝණි... තව ටිකක් ඉවසන්න. ඔයාලගේ අම්මා දැන් ඉස්සර වගේ දුර්වල, අසරණ කෙල්ලෙක් නෙවෙයි. මම ගොඩක් ශක්තිමත් වෙලා ඉන්නේ... දවසක... හැම ඇත්තක්ම ලෝකෙටම පෙනෙන දවසක, මම ඔයාලව හොයාගෙන ආපහු එනවා. අපේ ආදරේ ‘ටැටූ’ එක කවදාවත් මැකෙන්න දෙන්නේ නැහැ...’
මම මගේ කඳුළු පිසදාගනිමින්, දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ලැප්ටොප් පරිගණකය වසා දැමුවෙමි. එමාෂා දුනුකාර දැන් සැබෑ සටනකට සූදානම් ය!

ටැටූ 28 පරිච්ඡේදයෙන් හමු වෙමු.

04/06/2026

ටැටූ - 26 පරිච්ඡේදය

මයුරගෙන් සමුගෙන ආයතනයෙන් පිටතට පැමිණි මම ලංකාවට පැමිණීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව මෙල්බන් නගරයේ මාවත් දිගේ වේගයෙන් පියවර තැබුවෙමි. මගේ එකම අරමුණ වූයේ කෙසේ හෝ මුදල් සොයාගෙන, පළමු ගුවන් යානයෙන්ම ලංකාවට ගොස් මගේ දියණියව ඉනෝකාගේ සහ විපුලගේ ග්‍රහණයෙන් මුදා ගැනීමයි. නමුත් දෛවය මාව තවත් මහා හැරවුම් ලක්ෂ්‍යයකට රැගෙන යමින්, මගේ දුරකථනයට නොසිතූ ඇමතුමක් ලබා දුන්නේය.

ඒ අවිනාශ්ගේ වැඩිමහල් සහෝදරයා වූ කවිනාශ් රෝයි ය.

ඔහු මට මෙල්බන් නගරයේ නිහඬ ආපනශාලාවකට පැමිණෙන ලෙස දන්වා සිටියේය. අවිනාශ් මෙන්ම උස්, කඩවසම් පෙනුමකින් යුත් කවිනාශ්, මම ඔහු ඉදිරියේ අසුන් ගනිද්දී මදෙස බැලුවේ මහා සහකම්පනයකින් සහ කණගාටුවකින් පිරි දෙනෙතිනි. මගේ මැලවුණු මුහුණ සහ අසරණ පෙනුම ඔහුගේ හිත රිදවන්නට ඇත.

“එමාෂා... ඔයා ගොඩක් වෙනස් වෙලා,” කවිනාශ් ඉතාමත් සන්සුන් කටහඬකින් කතා කළේය. මම දිගු සුසුමකින් ඔහුට පිළිතුරු දුනිමි.

“මම හැමදේම දන්නවා එමාෂා. ඔයා පර්ත් වල හිටපු බවත්, ඔයාට බබෙක් හම්බවුණු බවත් මම දන්නවා.”
මම තැතිගෙන ඔහු දෙස බලද්දී මගේ දෑස්වලින් කඳුළු කඩා හැලුණි.

“මිස්ටර් කවීන්... අනේ මට කියන්න... මගේ බබා.. එ.. එයාව...”
මම කලබලයෙන් වදන් අමුනනන්ට උත්සහ ගත්තද මගේ හඬ බිඳී ගියේය.
“හදිස්සි වෙන්න එපා එමාෂා, මං කියන දේ මුලින්ම අහන්න,”

කවිනාශ් මගේ අතක් මත ඔහුගේ දෑත තබා මාව සන්සුන් කළේය. මම දෑස් අගට ඉනූ කඳුලක් කම්මුල් දිගේ ඕහේ ගලා ගියේය.

“ඔයා හිතුවේ ඔයා පර්ත් වල හැංගිලා ඉද්දී ඉනෝකා ඔයාව ඉබේම හොයාගත්තා කියලා නේද? නැහැ එමාෂා. ඔයාව හොයාගත්තේ ඔයාගේ තාත්තා, මිස්ටර් එරන්ද දුනුකාර. අනික ඔයා අමතක කරපු දෙයක් තමයි, ඔයාගේ බාප්පා, මිස්ටර් විපුල මෙහේ පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක්, එයාට ඔයාට හිතනවට වඩා කන්ටැක්ස් තියනවා, ඔප්චුනිටීස් තියනවා. ඊටත් වඩා ඔයා කාටත් හොරෙන් පර්ත් වලදී ඔයාගේ වර්ක් පර්මිට් එකයි ඔයාගේ වීසා ලියකියවිලියි පාවිච්චි කරපු සැණින්, ලංකාවේ හිටියත් මිස්ටර් දුනුකාරට ඒක ට්‍රැක් වුණා. ඔයාගෙන් පළිගන්න සහ ඔයාව නැවතත් ලංකාවට ගෙන්නගන්න, ඉනෝකා ලවා ඔයාගේ බබාව පැහැරගන්න ඒ මුළු සැලසුම හැදුවේ ඔයාගේ තාත්තයි බාප්පයි එකතු වෙලා. ඉනෝකා කළේ ඒ සැලසුම ක්‍රියාත්මක කරපු එක විතරයි. එතනදි මට ඇත්තටම දුක ඉනෝකා මේ සෙල්ලමේ ඉත්තෙක් වෙලා එයාවම පහලට දාගත්තු එක ගැන.”

කවිනාශ්ගේ ඒ වදන් මගේ කන් අසල මහා හෙන පිපිරීමක් මෙන් රැව් දුන්නේය. මගේම පියා මගේ දරුවාව පැහැරගැනීමේ සැලසුමට හවුල් වී ඇත!

“ඒ නිසා එමාෂා... ඔයා දැන් ලංකාවට ගියොත් ඒ දෙන්නගෙන් ඔයාට කිසිම ගැලවීමක් නැහැ. ඔයාව ආයෙත් මහා අපායක හිර කරයි. ඔයාට එයාලගේ පපට් කෙනෙක් වෙලා ඉන්න වෙයි... අනික... ඔයා ලංකාවට ගිහින් අවිනාශ්ව හම්බවෙන්නද හදන්නේ? ඔයා දන්නවාද අවිනාශ් ඉන්න තත්ත්වය? ඔයා මෙහෙන් අතුරුදහන් වුණාට පස්සේ අවී අසනීප වුණා. මයිනර් හාට් ඇටෑක් එකක් ඇවිල්ලා එයා දවස් ගාණක් හොස්පිට්ල් එකේ හිටියේ. අන්තිමට එයා ලංකාවට ගියේ අශෝන් පුතා දිගින් දිගටම එයා ගැන වද වෙන එක දරාගන්න බැරිම හින්දා. ඔව් මේ වෙද්දි අවිනාශ් ඉනෝකාගෙන් නීතියෙන් දික්කසාද වෙලා ඉවරයි. හැබැයි පුතාගේ මානසික තත්ත්වය හින්දා, පුතාව බේරගන්න ඕන හින්දා අවිනාශ් තමන්ගේ මුළු සතුටම, ජීවිතයම කැප කරලා ඒ පවුල කියන හිරගෙය ඇතුළේ තමන්වම හිරකරගෙනයි ඉන්නේ.”

කවිනාශ් රෝයි වේදනාවෙන් යුතුව කීවේය. ඔහුගේ වදන් තුල සැබෑ සහෝදරයෙකුගේ සෙනෙහස කැටිව තිබුණි.

“අවී...” මම මුහුණ වසාගෙන ඉකිගසමින් හැඬුවෙමි.

“ඉනෝකා ලංකාවට ගෙනිච්චේ ඔයාගේ දුවව තමයි එමාෂා, ඒත් ඉනෝකා ඒක කළේ පුදුම කපටිකමකින්. එයා අවිනාශ්ට පෙන්වන්නේ ඒ බබා පර්ත් වල අනාථ මඩමකින් නීත්‍යානුකූලව Adopt කරපු දරුවෙක් කියලා විතරයි. අවිනාශ් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ දරුවා තමන්ගේම ලේ කියලා එයා දන්නේ නැහැ. හැබැයි... එක දෙයක් ස්ථිරයි එමාෂා. අවිනාශ් විතරක් නෙවෙයි ඉනෝකත් ඒ දරුවට පණ වගේ ආදරේ කරයි. ඔයාගේ දුව දැන් අවිනාශ් ඉන්න අහල පහලක, එයාගේම සෙවනැල්ල යට ඉතාමත් සුවෙන්, ආරක්ෂිතව ඉන්නවා... මම ඉනෝකට වෛර නොකරන එක හේතුවක් තමයි එයා සර්ව සම්පූර්ණ අම්මා කෙනෙක් වීම. මගේ වයිෆ් නැතිවුණ දා ඉඳලා එයා ශේරට අම්මා කෙනෙක් වුණා... අශෝන්ටත් අද වෙනකල් කිසිම දේකදි රිදවලා නෑ... පුදුමාකාර ආදරයක් තියෙන්නේ....”

කවිනාශ් මගේ හිස අතගා කඳුළු පිසදමමින් සත්‍යය හෙළි කළේය. මගේ හදවතට මහා අමුතුම සහනයක් දැනුණි. මගේ දුව ඇගේ සැබෑ පියාගේ ළඟ ආරක්ෂිතව සිටී! අවිනාශ් ඇයව රැකබලා ගනු ඇත.
කවිනාශ් මදෙස කෙලින් බැලුවේය.

“එමාෂා... ඔයා දැන් ලංකාවට ගියොත් අවිනාශ්ගේ හිත ආයෙත් කැඩෙනවා, අශෝන්ව ඉනෝකා හදපු විදියට එයා පුංචිම දෙයක්වත් දරාගන්න ළමයෙක් නෙවෙයි.. ඒක එක අතකට ැවරදියි.. ඒත් තමන්ගේ තාත්තා තමන්ට අයිති නැති වෙනවා කියන දේ දරුවෙක් දරාගනියි කියන එක අපි බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. අනිත් පැත්තෙන් හිතුවොත් ඔයාගේ තාත්තලා බාප්පලා එකතු වෙලා ඔයාගේ ලොකේ ආයිම විනාශ කරයි. ඒ නිසා ඔයා මේ හැමදේකින්ම ඈත් වෙලා ඔයාගේ ජීවිතේ ඉදිරියට යන්න ඕනේ. දවසක හැම ඇත්තක්ම ලෝකෙටම පෙනෙනකල් ඔයා ශක්තිමත් වෙන්න ඕනේ... මේ දේවල් හැමදාම මේ තත්වෙන් තියෙන්නේ නැහැ. ”

කතාව අතරම ඔහු මගේ ඉදිරිපිට ලියුම් කවරයක් තැබුවේය.

“මෙන්න මේක ඔයාගේ මෙල්බන් ඉන්ටර්න්ෂිප් එක සාර්ථකව සම්පූර්ණ කළා කියලා සහතික කරපු ලෙටර් එක. මම ඔයාට UK යන්න හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. ඔයා එහේ ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්න. ඔයාගේ උපාධිය සම්පූර්ණ කරන්න. මම ඔයාට හැමදේටම උදව් කරනවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි දරුවෝ... මගේ මල්ලිගේ ආදරේ වුණත් ඔයා මගේ අහේරගේ වයසෙම දරුවෙක් නිසා.... අශේරට ඔයා වෙනුවෙන් ලොකු දෙයක් කරන්න ඒනිකියලා එයා මගෙන් ඉල්ලුව නිසා... ඔයා ඔයාගේ බබා ගැන ඇත්තටම බය වෙන්න එපා.... එයා ඉන්න ආරක්ෂිත තැනක. නීතියෙන් බිඳිලා ගියත් මානුෂියව බැඳිලා ඉන්න පවුලක... මොනවා වුණත් ඉනෝකා එයාව ආදරෙන් හදයි...”

මම ඒ ලියුම් කවරය දෙස බලා සිටියෙමි. මගේ හදවත කැබලිවලට බිඳී තිබුණද, මගේ දියණියගේ සහ අවිනාශ්ගේ සැනසීම වෙනුවෙන් මම මේ කැපකිරීම කළ යුතු බව මට වැටහුණි. මම කවිනාශ් දෙස බලා හිස සැලුවෙමි. ජීවිතයට ඉඩ දිය යුතුය. මම එය තරයේ තීරණය කර විශාල සුසුමක් මුදා හැරියෙමි.
සති කිහිපයකට පසු, මම මෙල්බන් නගරයට මෙන්ම මගේ අතීතයේ සියලු රිදවීම්වලට සමුදෙමින් එක්සත් රාජධානිය බලා යන ගුවන් යානයට ගොඩ වුණෙමි. මගේ හදවතේ ලියැවුණු අවිනාශ්ගේ සහ මගේ දියණියගේ ඒ ආදරණීය 'ටැටූ' සලකුණ සදාකාලික මතකයක් කරගනිමින්, මම අලුත් ලෝකයක් කරා පියනැඟුවෙමි. සටන තවම අවසන් නැත... දවසක මම නැවත පැමිණෙන බව මගේ යටිසිත මට රහසින් පැවසුවේය.

ටැටූ 27 පරිච්ඡේදයෙන් හමුවෙමු...

01/06/2026

ටැටූ - 25 පරිච්ඡේදය (අවිනාශ්ගේ ඇසින්)
මාස කිහිපයකට පෙර..
කාර්යාලයේ වීදුරු කවුළුවෙන් පිටත පෙනෙන මෙල්බන් අහස අළු පැහැති මූසල වලාකුළුවලින් බර වී තිබුණි. මගේ මේසය මත තිබූ කෝපි කෝප්පය සම්පූර්ණයෙන්ම නිවී ගොස් තිබුණද, මට එයින් උගුරක්වත් පානය කිරීමට සිතක් නොවීය. මගේ දෑස් නිරායාසයෙන්ම යොමු වුණේ කාමරයේ කොනක හිස්ව තිබූ, දූවිලි තැවරුණු ඒ කුඩා ආසනය දෙසටය.
එමාෂා...
ඇය මගේ ජීවිතයෙන්, මගේ දෑස් මානයෙන් අතුරුදහන් වී අදට මාස හතරකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබුණි. ඇය එදා තබා ගිය ඒ කුඩා කොළ කැබැල්ලේ ලියැවුණු වදන් මගේ හදවතේ ගැඹුරුම තැනක තුවාලයක් කර, අදටත් මාව දවාලමින් තිබේ. මම ඇයව සෙවීමට නොගත් උත්සාහයක් නැත. මෙල්බන් නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම, පොලිසිය, පෞද්ගලික රහස් පරීක්ෂකයන් පවා යොදවා මම ඇයව සෙව්වෙමි. නමුත් ඇය කිසිදු සලකුණක් ඉතිරි නොකර, වාෂ්ප වී ගියාක් මෙන් අතුරුදහන් වී තිබුණාය.
ඇගේ ඒ හදිසි පිටවීම මගේ ආත්මයම අඩපණ කර දැමුවේය. ඇගේ තුරුළේදී මම විඳි ඒ සැබෑ ආදරයත්, පිරිමියෙකු ලෙස මා ලැබූ ඒ උපරිම මානසික සැනසීමත් දැන් මට මිරිඟුවක් පමණක් වී තිබිණි. මම නැවතත් මීයෙක් නැති, පාලු සිවිලිමක් වැනි මගේ පැරණි හිස් ජීවිතයටම ඇද වැටී සිටියෙමි. එම වේදනාවට මුසුවූ එමාෂාගේ අතුරුදහන් වීම හදවතට දරා ගන්නටම නොහැකි වූ මොහොතකදී දින කිහිපයකට රෝහල් ඇඳකට සීනාවන්නට සිදුවූ මම අවසානයේ තීරණකට එළඹියෙමි.
මට මගේ සතුට වෙනුවෙන් මගේම ලේ වැනි දරුවාගේ ජීවිතය පරදුවට තැබීමට මට නොහැකි විය. සියල්ල හැරදා මොහොතකට අශෝන් වෙනුවෙන් කැපවිය යුතුය. ඉනෝකා මට දික්කසාදය ලබා දුන්නද, අශෝන්ගේ මානසික බිඳවැටීම නිසා මට නැවතත් ලංකාවට යාමට සිදු වී ඇත.
මා මේ සියලු පීඩාවන් දරාගෙන ජීවත් වුණේ මගේ එකම පුතු, අශෝන් වෙනුවෙනි. එදා එමාෂා ඉදිරියේදී ඔහු "මම මැරෙනවා" යැයි කී ඒ මාරාන්තික තර්ජනය මාව පියෙකු ලෙස සම්පූර්ණයෙන්ම දණ ගස්වා තිබුණි. ඉතින් මම අශෝන් වෙනුවෙන් මගේ හදවත කඩා බිඳ දමාගන්නට තීරණය කළෙමි.
මම පසුගිය මාස කිහිපය පුරාවටම මම අශෝන් වෙනුවෙන් අතිශය විශාල කැපකිරීම් සමුදායක් කළෙමි. මගේ මෙල්බන් ව්‍යාපෘති සියල්ල මගේ සහෝදරයා වූ කවීන් වෙත පවරා, මම ලංකාවේම නතර වුණෙමි. අශෝන්ගේ පාසල් වැඩකටයුතු, ඔහුගේ ක්‍රීඩා පුහුණුවීම් හැමදේකටම මම පියෙකු ලෙස මගේ කාලය සම්පූර්ණයෙන්ම වෙන් කළෙමි. මගේ හිත ඇතුළේ එමාෂා වෙනුවෙන් මහා කුණාටුවක් ඇවිලෙද්දී, මම පුතා ඉදිරියේ ව්‍යාජ සිනහවක් මවාගෙන සිටියෙමි. ඔහු කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙද්දී මගේ හිතට මඳ සැනසීමක් දැනුණද, මගේ පෞද්ගලික ජීවිතය සම්පූර්ණයෙන්ම මියගොස් තිබුණි.
පවුලේ ව්‍යාපාරයේ බර කරට ගෙන පවුල වෙනුවෙන්ම වෙහෙස වීම දුක වේදනාව සමනය කිරීමට නොව එය අමතක කිරීමට පිටුවහලක් ගෙනදුනි.
නමුත් මගේ ඒ මියගිය ජීවිතයට තවත් මහා පීඩනයක් එකතු කරමින්, ඉනෝකා පසුගිය සතියේ අමුතුම තීරණයක් ගත්තාය. ඇය කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව, මාස කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වී නැවත ලංකාවට පැමිණි පසු, කුඩා බිළිඳියකව නීත්‍යානුකූලව කුලවද්දා ගත්තාය. දික්කසාද ගැහැණියක් වූ නමුත් ඇයගේ ධනය සහ සමාජ මට්ටම සලකා ඇයට නීතියෙන් පවා ඒ අවසරය ලැබී තිබීම නිසාම ඒ පිළිබඳව විරුද්ධ වන්නට හෝ අදහස් දක්වන්නට මට අයිතියක් නොවීය.
ඇගේ ඒ ක්‍රියාව මට කිසිසේත්ම දරාගත නොහැකි වූවකි. අපි දෙදෙනා දැන් නීතියෙන් වෙන්වී සිටියද, අශෝන් නිසා ඇය තවමත් අපේ පවුලේ වටපිටාවේම සැරිසැරුවාය. එනිසාවෙන් මම අශෝන් පිළිබඳව වද වූයෙමි. කුඩා කාලයේ සිට ඔහුගේ ජීවිතයේ බලවත්ම පුරුක වූ අම්මා හදිසියේ බිළිඳියක් අත දරා සිටීම අශෝන්ගේ හදවත තව තවත් බිඳ දමා ඇති සෙයක් මට වැටහුණි.
“මම මේ දරුවව ගත්තේ අශෝන්ට නංගියෙක් ඕන හින්දා අවිනාශ්. අනික මගේ පාළුව මකාගන්න.” ඉනෝකා දරුවාව වඩාගෙන අපේ මහගෙදරට පැමිණි දින මට කීවාය.
“තමුසෙට පිස්සුද ඉනෝකා...?” මම මගේ අත තිබූ ලියකියවිලි කඩදාසි මේසය මතට විසි කරමින් මහා හඬින් ගුගුරා ඇසුවෙමි.
“අපි දෙන්නා දැන් නීතියෙන් වෙන් වෙලා ඉන්නේ. ඔයාට අයිතියක් නැහැ මගේ ජීවිතේට, අපේ පවුලේ වටපිටාවට තවත් ප්‍රශ්න ඇදලා දාන්න. ඔයා කොහෙන්ද ඔය අහුලාගත්තු දරුවෙක්ව මෙහෙට ගේන්න හදන්නේ?”
ඉනෝකා ඇගේ සුපුරුදු ආඩම්බරකාරී, සීතල සිනහව මුහුණට මවා ගත්තාය.
“මම මේ දරුවව ගත්තේ කුනූ ගොඩකින් නෙවෙයි අවිනාශ්. මම පර්ත් වල ඉන්න මගේ යාළුවෙක් මාර්ගයෙන් නීත්‍යානුකූලවයි මේ ඇඩොප්ෂන් එක කළේ. මට මගේ පාළුව මකාගන්න, ඒ වගේම අශෝන්ට නංගියෙක් ඕන හින්දා මම මේ තීරණය ගත්තේ. ඔයාට ඒකට බලපෑමක් කරන්න බැහැ.”
“අශෝන්ට නංගියෙක්?” මම උපහාසයෙන් සිනාසුනෙමි. ඇය දෑත් ලය හරහා බැඳගෙන මා දෙස බලා සිටියාය.
“ඉනෝකා, රඟපාන්න එපා! තමුසේ කවදාවත් දරුවන්ට ආදරේ කරපු ගැහැනියක් නෙවෙයි. අශෝන්ව වුණත් ඔයා හැමදාම පාවිච්චි කළේ මාව ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්න විතරයි. දැන් ඔයා මේ කරන්න හදන්නෙත් සමාජයට පේන්න තවත් එක ශෝ එකක් නේද? මම මේකට කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. මම මගේ මහගෙදරට ඔය දරුවව වද්දාගන්නේ නැහැ! අනික අශොන් දැනටත් ඉන්නේ ලොකු පීඩනේක.. එයා මේක කොහොම දරා ගනියිද? මේකට මගෙන් කිසි ඉඩක් නෑ ඔයාට...”
“ඔයා ඉඩ නොදී මොනවා කරන්නද අවිනාශ්? අනික ඔයා ඉඩ දීමෙන් නොදීමෙන් මට ඇති වැඩේ මොකක්ද? ඔයා අමතක කරන්න එපා, අශෝන් තාමත් ඉන්නේ මානසිකව ගොඩක් දුර්වල මට්ටමක. එයා මේ නංගිව දකින්න බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඔයා මේ දරුවව ප්‍රතික්ෂේප කරලා, ආයෙත් මේ පවුලෙ සතුට නැති කරන්න හැදුවොත් අශෝන් මොන වගේ තීරණයක් ගනියිද කියලා මට කියන්න බැහැ. එයා ආයෙත් මැරෙන්න හැදුවොත්... ඒකේ වගකීම ඔයා බාරගන්නවා නේද?”
ඉනෝකාගේ හඬ තවත් දැඩි විය.
“මොන පවුලක් ගැනද කියවන්නේ... අපි දැන් ඩිවෝස් වෙලා... ඔයා මේ ගෙදර ඇතුලේ හිටියට අපි දැන් නීතියෙන් වෙන් වුණ දෙන්නෙක්... මෙතන පවුලක් නෑ... අශෝන් නිසා අපි මෙහෙම හරි කතා කරලා ඉන්නේ... සිහියට එනවා ඉනෝකා... මේක පිස්සුවක් උනානේ අන්තිමට....”
මම අත මිට මොලළුා අසල බිත්තියට ගසමින් කීවෙමි. මට මගේ කෝපය පාලනය කරන්නට නොහැකි විය.
“නැත්තේ නීතියේ ලියවිල්ල විතරයි අවිනාශ්... මේ ගෙදර මේ දරුවෝ දෙන්නගේ අම්මා තාත්තා අපි... ඔයා කැමති වුණත් නැති වුණත්... අශෝන් දැනටමත් මෙයාව බාරගෙන ඉවරයි.. ඔයයි විකාරයක් වෙලා තියෙන්නේ...”
ඇගේ ඒ වචන මගේ පපුව මැදට වැදුණු මහා කුළුගෙඩි පහරක් බඳු විය. මම සාලය මැද එලෙසම ගල් ගැසුණෙමි. පියෙකු ලෙස මගේ දෑත් දෙපා බැඳ දමා ඇති බව මට තදින්ම දැනුණි. අශෝන්ගේ ඒ ජීවිත තර්ජනය ඉදිරියේ මම මොනතරම් අසරණද? මට එමාෂාව අහිමි විය, මගේ සැබෑ සන්තෝෂය අහිමි විය. අන්තිමට මගේම ලේ වැනි පුතාගේ ජීවිතය රැකගනු පිණිස මට මේ පවුල කියන හිරගෙය ඇතුළේම, ඉනෝකාගේ සෙවනැල්ල යටම තවදුරටත් ජීවත් වන්නට සිදුව තිබේ. මට මේ පවුල අත්හැර යා නොහැක. මම සම්පූර්ණයෙන්ම කොටු වී සිටියෙමි.
අවසානයේ ඉනෝකා ඇගේ හිතුවක්කාර තීරණය ක්‍රියාත්මක කළාය. ඇය ඒ කුඩා බිළිඳියව මහගෙදරට රැගෙන ආවාය. අශෝන් ඒ පුංචි නංගිව වඩාගෙන සිනාසෙනු දුටු විට, පියෙකු ලෙස මගේ හිතේ තිබූ කෝපය මඳක් නිවී ගියද, මගේ ආත්මය ඇතුළාන්තයෙන් මම දැඩි ලෙස පීඩා වින්දෙමි.
මම ඒ කුඩා දියණිය දෙස බැලුවේ දැඩි අකමැත්තකිනි. ඉනෝකා වැනි ආත්මාර්ථකාමී ගැහැනියක මේ දරුවා යොදාගෙන ඉදිරියේදී මොන වගේ සෙල්ලමක් කරන්නට සැරසෙන්නේදැයි මම දැන සිටියේ නැත.
නමුත් මගේ ඒ නොරිස්සුම මැද වුවත්, ඒ කුඩා දියණිය මගේ දෑසින් දකින සෑම මොහොතකම මගේ පපුව ඇතුළාන්තයෙන් කිසිදාක නොදැනුණු අමුතුම ආකාරයක ආත්මීය හිරියක්, දැඩි ආකර්ෂණයක් මතු වන්නට විය. ඇයට දැන් මාස කිහිපයක වයසක් ඇති අතර, ඇගේ ඒ විශාල දෙනෙත් දෙස බලද්දී මට මතක් වුණේම එමාෂාවය. ඒ ඇස්වල තිබූ සෘජු බව, ඒ කුඩා නාසයේ හැඩය මගේ හදවත මහා අමුතුම විදිහකට කම්පනය කර දැමුවේය.
‘ඇයි මට මේ දරුවා දකිද්දී එමාෂාවම මතක් වෙන්නේ...? මට මොනවා වෙලාද?’ මම මගේ කාර්යාල කාමරයේ තනිවී වාර කිහිපයක් අසා ගතිමි.
ඇය කාගේ දරුවෙකුද, ඇගේ සැබෑ මව්පියන් කවුරුන්දැයි කියා මම දැන සිටියේ නැත. ඉනෝකා මගෙන් ඒ සත්‍යය ඉතාමත් සූක්ෂ්ම ලෙස සඟවා තැබුවාය. ඇය පුල පුලා පැවසුවේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ අනාථ මධ්‍යස්ථානයකින් නීත්‍යානුකූලව ගත් දරුවෙකු බව පමණකි. මගේ හිතේ තිබූ ඒ දැඩි වේදනාව සහ එමාෂාගේ අතුරුදන් වීම නිසා ඇති වූ පීඩනය, මේ දරුවා මගේ අසලට පැමිණෙන සෑම මොහොතකම තවත් තදින් දැනෙන්නට විය. මම ඇයව වඩාගන්නට මගේ දෑත් දිගු නොකළද, මගේ දෑස් සැමවිටම රහසින් ඒ කුඩා දියණිය සෙව්වේය.
ඉනෝකා කුලවද්දාගත්, මා ප්‍රතික්ෂේප කරන්නට වෙහෙසෙන ඒ පුංචි දියණිය... මගේම ලේ වලින් උපන්, එමාෂා මගෙන් උදුරාගෙන ගිය මගේම දුව බව මම ඒ මොහොතේ සිහිනයකින්වත් දැන සිටියේ නැත. දෛවය සහ ඉනෝකාගේ කපටිකම මගේ ඉදිරියේ මහා රහසක් වළලා තබා, මාව තවදුරටත් ඒ පීඩනයේ සහ අසරණකමේ ගිල්වා තබන්නට තීරණය කර තිබුණි.
ටැටූ 26 පරිච්ඡේදයෙන් හමුවෙමු...

Want your public figure to be the top-listed Public Figure in Gelioya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

No 51-A
Gelioya
20522