WISH BEE
https://instagram.com/wishbee33?igshid=1u1eot1sn6bxf
Follow us on instagram Wishbee33
02/12/2025
🧚♀ නිදැල්ලේ සැරිසරණ හිත
අපි අපේ ගෙවත්ත නඩත්තු කරන්නේ නැතුව අතඇරලා දැම්මොත් ටික කලකින් වල් පැළ හැදිලා සත්තු සර්පයින් බෝ වෙනවා.
හැබැයි තණකොළ කපලා මල් වවලා පළතුරු පැළ එහෙම හිටවලා එව්වට වතුර, පෝර දාලා රැක ගත්තොත්. ලස්සන මල් පිපිලා පළතුරු හැදිලා සමනල්ලු, කුරුල්ලෝ ඇවිත් සුන්දර ගෙවත්තක් ලැබෙයි.
ඔන්න ඔය වගේමයි අපේ හිතත්, නිදැල්ලේ අත ඇරලා දැම්මොත් දුවන්නෙම ඍණපැත්තට... බර වෙන්නෙම කම්මැලිකමට. ..
🌸ගෙවත්තේ තණකොල කපනවා වගේ ඍණාත්ම සිතුවිලි එද්දි ඒ ඒ වෙලාවෙම එවා කපලා දාන්න ඕනි... අපේ හොඳ මානසිකත්වයට බාධා කරන මිනිස්සු ඈත් කරලා දාන්න ඕනි.
🌸මල් පලතුරු හිටවනවා වගේ ධනාත්මක සිතුවිලි නිතර මනසට දෙන්න ඕනි.
🌸වතුර පෝර දානව වගේ ධනාත්මක අදහස් තියෙන දියුණුවට උදව්වෙන අය ඇසුරු කරන්න ඕනි.
🌸නිතර නිතර දුකටම දුවන හිතට පුංචි පුංචි සතුටු හිතෙන තැන් හදුන්වලා දෙන්න ඕනි.
ඉතින් ඕනි දෙයක් වෙන්න කියල හිත අත ඇරලා දාන්නේ නැතුව හිතේ පාලනය අපි අතට ගන්න උත්සහ කරමු. කැලෑවක් වෙන්න නොදි මල් උයනක් කර ගන්න උත්සහ කරමු.
හිත පාලනය වෙද්දී ජීවිතෙත් ඉබේම හරි පැත්තට හැරෙනවා හොද දේවල් අපි වෙත ඇදෙනවා
✍Wishbee🐝
22/11/2025
🕊සමාවදෙන්න නිදහස් වෙන්න
මේක පුංචි විඩියෝ ක්ලිප් එකකින් මට ලැබුනු පණිවිඩයක්. එක පාරට කරන්න බැරිවුනත් ටික ටික කරගෙන යද්දි හිතට සැනසීමක් ලැබෙන නිසා මට ලියන්න හිතුනා.
සමාව දෙන්න ඕනි අය:
1. අපේ දෙමාපියන් -
පුංචි කාලේ වෙන නරක අත්දැකීම් පොඩි අයට ගානක් නෑ කියල හිතුනත් ඒවා ලොකු වෙද්දි පෙෘර්ෂයේ ලොකු හිඩැස් විදියට එළියට එනවා. සමහර නරක අත්දැකීම් ඒනිසා අපිට අමතක කරන්න හරිම අමාරුයි. මේවා ගොඩක් වෙලාවට දෙමාපියන් සම්බන්ධ නම් අපි එයාලත් එක්ක දුදරු දෙමාපිය සම්බන්ධ පවත්වාගත්තත් ඒ නරක අත්දැකීම් සම්බන්ධයෙන් අපිට සම්පුර්ණයෙන් එයාලට සමාව දෙන්න බැරි වෙනවා. එයාලට සමාව දෙනකම් අපිටත් අපේ හිත නිවාගන්න සුවපත් කරගන්න අපහසු වෙනවා. ඉතින් සමාවදෙන්න. ඒ කරපු දේ හරි නිසා නෙමෙයි එයාල වැඩිහිටියෝ මොනාකරත් අපි ඉවසන්න ඕනි නිසාත් නෙමෙයි. ඔයාගේ සැනසීම වෙනුවෙන්.
2. අපේ හිත රිද්දපු මිනිස්සු -
අපිව රවට්ටපු, විවේචනය කරපු, වාසි ගත්තු මිනිස්සු නිසා අපි මානසික වැටිලා කලකිරිලා තියෙනව. ඒ දෙවල් නිසා මානසික පීඩනයට ලක්වෙලා තියෙනවා. ඒ නිසා හිතේ තරහක් ඇතිවෙලා තියෙනවා. ඒ සිද්ධිය අමතක කරන්න අමාරු ඇති. ඒත් ඒ අයටත් සමාවදෙන්න. මේ සමාවදීම ඒ පුද්ගලයට කොහොත්ම සම්බන්ධ නෑ. එයාල අපෙන් සමාවගන්න ඕනිත් නෑ. පසුතැවිලි වෙන්න ඕනිත් නෑ. හිතින් සමාවදෙන්න හිතින් අත අරින්න. එයාලගේ වැරදි වල බර අපි උස්සාගෙන යායුතු නෑ
3. ඔබට -
ඔව් අපි හැමෝම මෝඩ මරිමෝල් ට්‍රැක් පැනපු වැඩ කරනවා. ඉතින් මේවා ගැන හිතද්දි මතක්වෙද්දි ලැජ්ජාවක් එක්ක අපි ගැනම තරහකුත් එනවා. අපේ ජීවිතේ අපිට මාර්ග උපදේශයක් එක්ක ලැබෙන්නේ නෑ. දේවල් ඉගෙන ගන්න වෙන්නේ කරල බලලාම තමා, ඉතින් ඒ වැරදි වලට සමාවදෙන්න.මේක හරි ලේසි වගේ පෙනුනට ඒක තමා අමාරුම එක. "අපරාදේ මට අරම කරන්න තිබ්බා", "මෙහෙම කිව්ව නම් මෙහෙම වෙන්න තිබ්බා " කියලා අපි නොදැනුවත්වම අපි අපිවම විවේචනයට ලක් කරගන්නවා. අපිවම පහතට දාගන්නවා. එහෙම නොකර වුන දේවල් වලට සමාවදෙන්න.
4. සමාව ඉල්ලන්න -
ඉහත අයට සමාවදෙන ගමන්. තමන් අතින් කාටහරි හිත් රිදවීමක්, අසාධාරණයක් වැරැද්දක් උනා කියල තේරුනා නම් සමාව ඉල්ලන්න. පුහුමාන්නය අත අරින්න.
සමාවදිය යුතු පුද්ගලයන් ඒ සම්බන්ධ සිද්ධිය එක පාරක් මතක් කරලා හිතින් සමාවදෙන්න නැත්තම් ලියන්න. ලියපු කොලේ පුච්චලා දාන්න. ඉරලා දාන්න. ඒක ඉවරයි කියලා හිතන්න.
සමාව ඉල්ලන්න පුරුදු වෙන්න. දිගින් දිගටම එකම වරද කරලා ඉල්ලන සමාවෙන් පලක් නැතිබවත් තේරුම් ගන්න.
✍WishBee🐝
18/11/2025
මනස උරණව සිරුර ලෙඩවී
නිකරුණේ පීඩා විදින්නී
අතීතය හොල්මන් කරද්දී
ඇයම ඇය හට රිදවගන්නී
ඔලුව ඇතුලේ ඝෝෂා කරද්දී
අතින් හිස කෙස් අදින්නී
මතක අමතක කරනු රිසිවි
ලයට වැරයෙන් පහර දෙන්නී
මරණ දණ්ඩන හිතේ ලියැවී
වැරදිකරුදැයි ඈ අසන්නී
වැරදි නැතිබව තනිව කියමින්
හිතත් සමගින් පොරබදන්නී
සිනා මුහුණක් ලොවට පෙන්නා
රහසේම ඉකිබිඳ හඩන්නී
හිතේ පැටලුනු තැන් ලිහන්නට
බෙහෙත් පෙත්තක් ගිලදමන්නී
✍WishBee🐝
Click here to claim your Sponsored Listing.