Cyberwolf
සප්තස්වරයෙන් කැරලි ගසන
ආඳාඋල්පත බාලිකාවෝ
මෙය මාර වැඩක් නොවන්නට පුළුවන, ඒත් වැඩකි. මෙය හොඳම ආදර්ශය නොවිය හැකිය, එහෙත් ආදර්ශයකි. එදා රිදීමාලියද්ද හෝ ආඳාඋල්පත ගැන රට්ටු කතා වුණේ, එහි දිළිඳුකම සහ දුෂ්කරකම ගැනය. එහෙත් අද දක්ෂකම් හා ජනප්‍රියභාවයට ඈඳුණු කතාවලදීද ඒ නම් සඳහන් වෙයි. ඒ ඔවුන් නිසාය.
-----------------------------------
පසුගිය කොරෝනා වසංගත සමය අප රටේ ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයටද විශාල බලපෑමක් කළ ඉතිහාසයේ එක් අඳුරු කාල පරිච්ඡේදයකි. රටටම ඇඳිරිනීතිය පැනවී ගමනාගමනය තහනම් විය. පාසල් වැසී ගියේය. ටියුෂන් පංති නැති විය. ළමයි ගෙවල්වලම සිරගත වූහ.
මේ සියල්ල අතරේ ආඳාඋල්පත ජාතික පාසලේ බාලිකාවන් කිහිපදෙනෙකුට නම් එම කාලය ජීවිතයේ අමතක නොවන සොඳුරුතම කාලයක් විය.
ආඳාඋල්පත යනු, කලක් ලංකාවේ දුෂ්කරම හා දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙස නම් දරා සිටී, රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි, මහියංගනය අධ්‍යාපන කලාපයට අයත් ඌන පහසුකම් සහිත පාසලකි. මෙය ජාතික පාසලක් වුවද එහි සිසුන් සංඛ්‍යාව 700කට අඩුය.
නිවෙස්වලට වී හුදකලාව කාලය ගත කළ මෙම විද්‍යාලයේ සිසුවියන් පිරිසකට තම නිවෙස් අසල පදිංචිව සිටින උපකාරක පංති ගුරුවරයෙකු වූ තරංග සර් (තරංග කුමාර) විසින් අලුත් යෝජනාවක් කළේය.
ඒ පුංචි සංගීත කණ්ඩායමක් තනන්නටය. ඊට එකපයින් කැමති වූ සිසුවියෝ තම වැඩිහිටියන්ගේද කැමැත්ත, ආශිර්වාදය ඇතිව සංගීත කණ්ඩායමක් ඇරඹූහ.
කිසිදු පහසුකමක් නොමැතිව, බොහෝ හැල හැප්පීම් හ සමාජ තහංචි මැද වයස අවුරුදු 12-16 අතර බාලිකාවන් හයදෙනෙකු යොදාගෙන ඌව පළාතේ ප්‍රථම කාන්තා සංගීත කණ්ඩායම මෙන්ම ලංකාවෙන්ම දෙවැනි කාන්තා කණ්ඩායම ලෙස මෙසේ උපත ලද මෙය, “ස්වරාංගනී” සංගීත කණ්ඩායම ලෙස නම් දරා, ඌව පළාතේ පමණක් නොව ලංකාව පුරා අද ජනප්‍රිය වී ඇත.
බින්දුවෙන් පටන්ගත් හැටි
මෙම සංගීත කණ්ඩායම පිහිටුවන විට ඔවුන් බටහිර සංගීත භාණ්ඩ කිසිවක් සජීවීව දැක තිබී නැත. සමහරවිට රූපවාහිනී මාධ්‍යයෙන් දැක තිබුණත් ඒවාට කියන නම් පවා දැන සිටියේ නැත. එසේම කණ්ඩායමේ හය දෙනාම අඩුම වශයෙන් පාසලේදී ‘සංගීතය’ විෂයක් ලෙස හෝ හදාරා නොතිබුණි. ඒත් ඔවුන් සියලුම දෙනා නර්තනය හදාරා තිබූ අතර ගායනයටද දක්ෂතා දක්වා තිබුණි.
“සංගීත කණ්ඩායමක් ආරම්භ කළත් සංගීතය පිළිබඳව, වාදනය පිළිබඳව කිසිම දෙයක් මේ දැරියන් දැනගෙන සිටියේ නැහැ. මමත් දන්නේ සංගීතය පිළිබඳ විෂයක් වශයෙන් පාසලේදී ඉගෙනගත් දේ විතරයි. නමුත් මම සංගීත කණ්ඩායමක් සමග සම්බන්ධ වෙලා ලබාගත් අත්දැකීම් තිබුණා. ළමයින්ට ගායන හා නර්තන හැකියාව තිබුණා. අපට කියල සංගීත භාණ්ඩ තිබුණේ නැහැ. එක්ස්රේ කොළවලින් හදාගත්ත භාණ්ඩ කිපයක් හා යාළුවන්ගෙන් ඉල්ලා ගත් භාණ්ඩ කිපයක් තිබුණා. ඒවායින් අපි දිගටම පුහුණුවීම් කළා. විවිධ බාධක ආවා. ඒවාට ඉවසීමෙන් මුහුණ දුන්නා.” යැයි ස්වරාංගනී නිර්මාතෘ තරංග කුමාර මහතා සඳහන් කළේය.
සංගීත කණ්ඩායමේ නායිකාව සුමේෂා ලක්ෂානි ය. මේ වන විට 16 හැවිරිදි ඇය, විවිධ දක්ෂතාවලින් පරිපූර්ණ දැරියකි. කරාටේ කළුපටි ධාරිනියක් වන ඇය, පාසලේ කැඩෙට් කණ්ඩායමේ නායිකාව වන අතර ඊට අමතරව නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව, වොලිබෝල් කණ්ඩායමේ උප නායිකාව, පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ආදි තනතුරු දරන ඇය පාසලේ නර්තන කණ්ඩායම හා ගායන කණ්ඩායමද නියෝජනය කරයි. සංගීත කණ්ඩායමේ නායිකාව වන අතරම ඩ්‍රම්සෙට් වාදිකාවද වේ.
අපේ මූණු කැත කරලා!
“මුලින්ම ඩ්‍රම් එක විදිහට මගේ කකුල් දෙකේ කලවාවලට ගහලා තමයි පුරුදු වුණේ. පස්සේ අම්මා කලිසම් සාක්කු දෙකට පුළුන් කොට්ට දෙකක් මහල දුන්නා. ඒකට ගහල පුරුදු වුණා. සංගීත කණ්ඩායම හදන්න අපි මුලින්ම ගෙවල් ගානේ ඇවිදලා ළමයි එකතු කළා. මුලින් මුලින් අකමැති වුණත් - පස්සේ පස්සේ ආවා. සමහරු ඇවිත් ආපසු ගියා. අවසානයේ 6 දෙනෙක් ඉතුරු වුණා. ඒ අය එක්ක අපේ ගෙදර පුහුණුවීම් කළා. නිවාඩු දිනවල රෑ 10.00 - 11.00 වන තුරු පුහුණු වුණා. අහල පහළ සමහරු 119 ගහල පොලීසියෙන් ආපු දවසුත් තිබුණා. “දැන් නවත්තලා ගෙවල් වලට යන්න දරුවනේ” කිව්වහම අපි නවත්තනවා. මුල්කාලේ අනුන්ගේ සංගීත භාණ්ඩ ඉල්ලගෙන තමයි පුහුණුවීම් කළේ. සමහර අදවස්වල පුහුණුවීම් කරන අතරතුර ඔවුන් ඇවිත් ඒවා ඉල්ලගෙන යනවා. එවැනි අවස්ථාවල හරියට දුක හිතුණා - ගැහැනු ළමයි ඕවා කරන්නේ නෑ බං, ඕවා නවත්තලා කොහොම හරි විභාගේ ගොඩ දා ගනිල්ලා කියලා සමහරු කිව්වා.
අපි සන්දර්ශනයකට යද්දී ගහන පෝස්ටර්වල අපේ මුහුණුවල කෑලි ඉරල මූණේ රැවුල් දාලා, අං තට්ටු ඇඳලා, විකාර කරලා අපිව වට්ටන්න හදපු අයත් හිටියා. සමහරු ෆේස්බුක් පෝස්ට් දාලා තිබුණා ‘උඹලා හේනක් කොටාගෙන ඔහෙට වෙලා ඉඳපල්ලා' කියලා.”
ජිප්සීස් සප්‍රයිස් එක!
කෙසේ හෝ මාස 6ක පමණ කාලය ගෙවී ගියේ දක්ෂ ළපටි කෙල්ලෝ ටිකක් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කරමිනි. ඔවුන් ප්‍රථම සංගීත ප්‍රසංගය පැවැත්වූයේ කොරෝනා රෝගීන්ගේ හා ඒ කාර්ය මණ්ඩලයේ මානසික සුවතාවය වෙනුවෙනි. එය සියලු දෙනාගේ ප්‍රශංසාවට හේතු විය. මෙලෙස මෙම සංගීත කණ්ඩායම දිනෙන් දින ප්‍රගතිය කරා ළංවෙද්දී B.B.C.වාර්තාකරුවෙක් මෙම දැරියන්ගේ හැකියාවන් හා දක්ෂතා පිළිබඳව කතාව B.B.C. වෙබ් අඩවියේ පළ කළේය. එය දුටු ප්‍රකට ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායම මෙම දැරියන් හා ඔවුන්ගේ දෙමාපියන් කොළඹට කැඳවා ඔවුන්ගේ ශබ්දාගාරය නැරඹීමට අවස්ථාව සලසා දී, ඔවුන්ව පුදුමයට පත් කරවමින් මිල දී ගෙන තිබූ නවීන සංගීත භාණ්ඩ සියල්ලත් ඔවුන් වෙත පරිත්‍යාග කළේය.
මෙම සංගීත කණ්ඩායමේ දැරියන් සියලුමදෙනා පාසල් සිසුවියන්ය. ඔවුන්ගේ පාසල වන්නේ අඳාඋල්පත ජාතික පාසලයි. එහි විදුහල්පති ඩී.එම්. අභයවීර දිසානායක මහතා මෙම දැරියන්ගේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් වී ඇත.
“මේ දැරියන් සියලුමදෙනා විවිධ දක්ෂතා ඇති විවිධ හැකියාවන් ඇති දක්ෂ දරුවෝ. විෂය සමගාමීව හා විෂය බාහිර ක්‍රියාකාරකම් සමග පාසල් අධ්‍යාපනය තුළින් ලබන අත්දැකීම් හා පන්නරය දරුවන්ගේ ජීවිතයට අත්‍යාවශ්‍යයයි. ඒ සඳහා ලබා දිය හැකි උපරිම අනුග්‍රහය ලබාදෙනවා.” යැයි විදුහල්පතිවරයා පැවසීය.
වැස්සොත් විනාසයි
“ස්වරාංගනී” දැන් දිවයිනේ ජනප්‍රිය කාන්තා සංගීත කණ්ඩායමකි. ඔවුන්ට නිරතුරුවම ප්‍රසංග, සාද, විවාහ උත්සව සඳහා ඇරයුම් ලැබේ. ඒවා භාරගනු ලබන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන ආකාරයටය. ඔවුන් පුහුණුවීම් කරන්නේ රාත්‍රී කාලයේදී පමණි. ඒ උදේ පාසල් යෑමට හා සවස උපකාරක පංතිවලට යෑමට ඇති නිසාවෙනි. පුහුණුවීම් සිදු කරන්නේ සුමේෂලාගේ නිවසේය. වර්ෂා කාලයට කෙසේවත් එහි පුහුණුවීම් කළ නොහැක. ශබ්දාගාරයක අවශ්‍යතාව ඔවුන්ට ඉතා තදින් දැනේ.
එහෙත් ඒ සඳහා ඔවුන්ට වත්කමක් නොමැත. කුඩා ප්‍රමාණයේ හෝ ශබ්දාගාරයක් හා තාක්ෂණික උපකරණ ලබා ගැනීම සඳහා සහාය අවශ්‍ය බව ස්වරාංගනී පුහුණුකරු තරංග කුමාර මහතා පැවසීය. මේ හැකියාවන්ගෙන් පරිපූර්ණ ගැමි යෞවනියන්ගේ අනාගත උන්නතිය සඳහා උපකාරයක් කිරීමට කැමති අයට ඒ සඳහා අවස්ථාවක් තිබේ.
- රවී මැදගෙදර
[email protected]
බැතිමත් නෙත්වලින් ගිලිහෙන පුංචි සීගිරිය
ඓතිහාසික දිගාමඩුල්ලට සංචාරය සඳහා පැමිණෙන බහුතරයකගේ අරමුණ වී ඇත්තේ දීඝවාපිය, බුද්ධංගල හෝ රජගල වැනි ඓතිහාසික සිද්ධස්ථාන නැරඹීමය.
දිවයිනේ නන්දෙසින් දිගාමඩුල්ලට පැමිණෙන බොහෝ දෙනෙකු මගහැර යන පුරාණ විහාරස්ථානයක් තිබේ. ඒ 'පුංචි සීගිරිය'යි.
එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉතිහාසය ගැන ලියවුණ ග්‍රන්ථවල හෝ ජනමාධ්‍යවලින් හෝ එම විහාරස්ථානයට නිසි තැන ලබා නොදීමය.
අම්පාර - මහනුවර මාර්ගයේ ගමන් කර උහන නගරය පසු කර 28 වෑරැන්කැටගොඩ හන්දියට පැමිණ, එතැනින් දකුණට හැරී කිලෝමීටර් 05ක් පමණ ගමන්කරමින් සුන්දර වෙල්යායයක් පසු කළ විට මෙම පුරාණ විහාරස්ථානය හමු වේ.
කිස්තු වර්ෂ 3 - 4, සියවස් තුළ ඉදිකර ඇති බවට සැලකෙන මෙම විහාරස්ථානය වසර 1900කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන්නකි.
සද්ධාතිස්ස රජතුමාගේ පුත් ලජ්ජාතිස්ස කුමාරයා විසින් ප්‍රතිසංස්කරණය කළ බවට සැලකෙන මෙම පුරාණ විහාරස්ථානයේ විශේෂයක් නම් සීගිරිය හා අජන්තාවට සමාන චිත්‍ර මෙහි කුඩා පර්වතයක ඇඳ තිබීමය. පුරාවිද්‍යා ගවේෂණයන්ට අනුව, මෙම චිත්‍ර වසර 1900කට වඩා පැරණි බවට හඳුනාගෙන ඇත.
සීගිරි පර්වතයෙහි සිතුවම්වලට වඩා මෙම විහාරස්ථානයේ ඇඳ ඇති සිතුවම්වල විශේෂයක් වන්නේ, සීගිරි පර්වතයේ කාන්තා රූප පමණක් ඇඳ තිබීමත්, මෙහි පිරිමි රුවක් හා කාන්තා රුවක් ඇඳ තිබීමත්ය. පිරිමි රුව අසල නෙළුම් මල් දෙකක් ඇඳ ඇති අතර, මෙහි වී කරලක් ඇඳ තිබූ බවත්, එය මේ වන විට මැකී ගොස් ඇති බවත් විහාරාධිකාරී හිමියෝ සඳහන් කරති.
පියගැට පෙළක් පිළිබඳ සඳහන් සෙල්ලිපියක් ඇතුළු තවත් පුරාණ සෙල්ලිපි 05ක් මෙහි තිබේ. වැව් දෙකක්, ඇළක් පූජා කර, එහි මත්ස්‍ය බද්ද සහ ජලබද්ද අයිතිය විහාරස්ථානයට පවරා ඇති බව එහි සඳහන් කර ඇත.
පුරාවිද්‍යා කැණීම්වලදී මෙම ස්ථානයෙන් සඳකඩ පහණක් සහ සිදුහත් උප්පත්තිය සනිටුහන් කරමින් සකස් කරන ලද කුඩා සිරිපතුල් දෙකක් සහිත සංකේතයක් හමු වී ඇත.
දිගාමඩුල්ල පාලනය කළ බවට ඉතිහාසයේ සඳහන්, බකදය, නදසප යන ප්‍රාදේශීය පාලකයන්ගේ සහ මහින්ද නැමැති පාලකයාගේ බිරිඳගේ අනුග්‍රහයන් මෙම පුරාණ විහාරස්ථානයට ලැබී ඇති බවද සෙල්ලිපිවල සඳහන්ය.
පුංච් සීගිරිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි පුජ්‍ය බඹරවානේ සද්ධාතිස්ස හිමියන් පවසන අන්දමට, විහාරස්ථානයට අයත් වැව් මේ වන විට වෙල්යායක් බවට පත්ව ඇත. පොකුණු දෙකක් නටබුන් වී ඇති නමුත් පුරාවිද්‍යා කැණීම් සඳහා විශාල මුදලක් වැය වන බැවින්, එම කටයුතු ආරම්භ කර නොමැත.
පුරාවිද්‍යා වටිනාකමක් සහිත බවට බවට හඳුනාගෙන ඇති මෙම සිතුවම් නිසි අවධානයකට ලක් නොවීම හේතුවෙන් විනාශ මුඛයට යමින් පැවති අතර, අනාගත පරපුරට මහඟු දායාදයක් මෙන්ම, පුරාවිද්‍යාව හදාරන්නන්ට හා ඉතිහාස ගවේෂකයින්ට මහඟු පිටුවහලක් විය හැකි බවට සැලකෙන මෙම සිතුවම් සංරක්ෂණය කර දෙන ලෙස විහාරාධිපති හිමියන් දීර්ඝ කාලයක සිට බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. මෙහි ඉදිකර ඇති ඉපැරණි දාගැබෙහි සංරක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතී.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ (රසායන සංරක්ෂණ) ගීතානි කුරුප්පුආරච්චි මහත්මියගේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී ජනනි සෙනවිරත්න මහත්මිය සහ රසායන සංරක්ෂණ සහකාර කේ.ඩබ්. ප්‍රියන්ත මහතා බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු සිදු කර ඇත.
රජය සහ පුරාව්ද්‍යා දෙපාර්තමේන්තුව මෙහි වටිනාකම හඳුනාගෙන ඇතත්, දිගාමඩුල්ලේ ජනතාවවත් මේ වනතෙක් මෙහි වටිනාකම හඳුනා ගත් බවට පැහැදිලි නැත. ගල්ඔය සංවර්ධන මණ්ඩලය යටතේ ජනාවාසව වසර 70කට ආසන්න කාලයක් ගතව ඇතත්, මෙහි පුරාවිද්‍යා වටිනාකම පිළිබඳ තක්සේරුවක් ඇත්තේ අල්පයකට වීම එයට කදිම සාක්ෂියකි.
දාගැබ, රහතුන් විසින් අරියවංශ සූත්‍රය දේශනා කළ බවට සෙල්ලිපි මගින් හඳුනාගෙන ඇති ගොඩනැගිල්ල (නටබුන්ව ඇති) ගල්කණු, පොකුණු, සදකඩ පහණ, සිරිපතුල සහ ප්‍රාග් ඓතිහාසික බිතුසිතුවම් සහිත පුරාවිද්‍යා වටිනාකමක් සහිත විහාරස්ථානයක් ශ්‍රී ලාංකික සැදැහැවත් ජනයාගෙන් වසන්ව දීර්ඝ කාලයක් පැවතීම සැබැවින්ම කනගාටුදායකය.
-දිගාමඩුල්ල විශේෂ - ඩී. ඥාණසිරි හෙට්ටිආරච්චිගේ
දෙහිඅත්තකණ්ඩියේ දිරිය මාධ්‍යවේදිනිය:
ආරියලතා පොඩිමැණිකේ
මිතුරු මාධ්‍ය සමාජයෙහි ඇය හැඳින්වෙන්නේ 'ආරි අක්කා' යන ආදරණීය නාමයෙනි. ආරියලතා දහනායක හෙවත් ආරියලතා පොඩිමැණිකේ නම් වූ ඇය, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකන්ඩිය මහවැලි සී. කලාපයේ ප්‍රථම හා එකම මාධ්‍යවේදිනියයි. මාධ්‍ය ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය සුලබ නොවූ යුගයක, එනම් 90 දශකයේ අග භාගයේදී පමණ ලේක්හවුස් ආයතනයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය වාර්තාකාරිනිය ලෙස ඇය මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණාය.
ඉන් අනතුරුව ලංකාදීප, මවුබිම වැනි පුවත්පත්වලටද සම්බන්ධ වූ ඇය, දහසකුත් එකක් ගැටලුවලින් පෙළෙන දුෂ්කර කලාපයක හඬක් නැති මිනිසුන්ගේ හඬ බවට පත් වෙමින් නොනිමි මෙහෙවරක යෙදුණාය.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සාත්තු සේවිකාවක ලෙස සේවයට බැඳුණු ඇය, පසු කලෙක රෝහලේ ප්‍රධාන ආහාර නිරීක්ෂිකාව ලෙස උසස්වීම් ලැබ සේවය කළාය. හදිසි අනතුරකින් ඇගේ ස්වාමි පුරුෂයා මීට වසර 30කට පමණ ඉහතදී මියයන විට, ඇය පිරිමි දරුවන් දෙදෙනකුගේ සහ එක් දියණියගේ මවකි.
"ස්වාමි පුරුෂයා මියගියාට පස්සෙ, දරුවන් තුන් දෙනා ලොකු මහත් කර ගන්න මට ලොකු වෙහෙසක් දරන්න සිද්ධවුණා. කොහොමහරි ඒ තුන්දෙනාටම උගන්නලා තැනකට ගන්න මට පුළුවන් වුණා. මේ ඔක්කොම මැද මාධ්‍ය වැඩත් සතුටින් කළා. ඒ සම්බන්ධකම් ඔස්සේ රෝහලේ තිබුණ අඩුපාඩු සම්පූර්ණ කර දෙන්නත් පුළුවන් වුණා." ඇය සිය මතකය අවදි කළාය.
එහෙත් වරක් ඉහළ නිලධාරියකුගේ උදහසට ලක් වූ ඇයට රැකියාව එපා වන තරමට කරදර සිදු විය. නොකළ වරදකට දඬුවම් ලෙස ස්ථාන මාරු කෙරිණි. ඇය මානව හිමිකම් කොමිසම හමුවට ගොස් යුක්තිය ඉල්ලා සිටි අතර, කොමිසමේ නිගමනය වූයේ ඇයට අසාධාරණයක් සිදුව ඇති බවයි. එහෙත් කොමිසමේ නියෝගය ක්‍රියාත්මක කිරීම බලධාරීන් විසින් පැහැර හැරිණි. දැඩි ලෙස කලකිරීමට පත් ඇය, නියමිත කාලයට වසර 2කට පෙර සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළාය.
රැකියාව ආශ්‍රිතව අසාධාරණකම් හා පළිගැනීම් සිදු වුවද මාධ්‍ය ජීවිතය ඇයට ඉතාම සතුටුදායක එකක් විය. වාර්තාකරණය ලෙහෙසි පහසු එකක් නොවූ, අලි ගහන- කොටි ගහන දුෂ්කර කලාපයක සිට පොදු ජනයා වෙනුවෙන් මාධ්‍යකරණයෙහි නියැලෙන මේ දිරිය මාධ්‍යවේදිනිය කෙරෙහි පුවත්පත් කතුවරුන්ද දැක්වූයේ ගෞරවය මුසු සැලකිල්ලකි. ඇගේ පුවත් හා ලිපිවලට නිරතුරුව මාධ්‍යවල ඉඩකඩ විවර විය. මාධ්‍යවේදීන් සඳහා වන පුහුණු වැඩසටහන් ඔස්සේ ඇයට දිවයින පුරාම සිටින ක්‍රියාශීලී මාධ්‍යවේදීන් මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය පුහුණුකරුවන්ද, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ද දැන හඳුනාගැනීමට ලැබිණි. කටුක පොළොවට මෙන්ම තරු පහේ හෝටල්වල බුමුතුරුණුවලටද ඇගේ දෙපා හුරු විය. වරක් බීබීසී ආයතනයේ මෙහෙයවීමෙන් දඹුල්ලේදී පැවැත්වූ සති තුනක පුහුණු පාඨමාලාව ඇගේ මාධ්‍ය දිවියට විශාල පන්නරයක් එක් කළ අවස්ථාවකි.
කටුක පරිසරයක, ගැහැනියක ලෙස ඇය ආ ගමන ලෙහෙසි පහසු එකක් නොවේ. පෑනෙන්, කටින් පමණක් නොව, බැරිම තැනකදී අතින් පයින් වුවද ප්‍රතිචාර දැක්වීමට ඇය පසුබට වූයේ නැත. එවැනි අමතක නොවන සිදුවීමක් ඇය පසු කලෙක සිහිපත් කළේ අප මවිත කරවමිනි.
"දවසක් මම බස් හෝල්ට් එකක තනියම ඉන්නකොට බීපු මිනිහෙක් ඇවිත් මට හොඳටම බැන්නා. මමත් බැන්නා. පස්සේ මිනිහා මගේ අතේ තිබුණ ෆෝන් එක උදුරා ගෙන මගේ සාරිය ගලවන්න උත්සාහ ගත්තා. එතකොට මට ලොකු බයක් එක්කම, පුදුමාකාර ශක්තියකුත් ආවා. මම සාරිපොට ඉනේ ඔතාගෙන ඒ මිනිහට කුඩෙන් ගහගෙන ගහගෙන ගියා. එතකොටම බස් එකක් ඇවිත් නැවැත්තුවා. මිනිහා දිව්වා. මම බස් එකේ නැගල පොලීසියට ගියා."
වරක් ඇයගේ මාධ්‍ය කටයුතුවලින් අපමනාපයක් ඇති කරගෙන සිටි ග්‍රාම නිලධාරියකු ඇගේ පුත්‍රයාට පදිංචි සහතිකයක් ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ඉහළ නිලධාරීන්ට පැමිණිලි කළද සාධාරණයක් ඉටු වූයේ නැත. ඇය මානව හිමිකම් කොමිසමේ පිහිට පැතුවාය. ප්‍රතිඵලය වූයේ පුත්‍රයාට පදිංචි සහතිකය පමණක් නොව, සිදු වූ අසාධාරණය වෙනුවෙන් රු. දසදහසක වන්දියක්ද හිමි වීමය!
තිස් වසරක් තිස්සේ තනි ඇතින්නක සේ යෝධ විරියෙන් යුක්තව යුක්තිය වෙනුවෙන් මාධ්‍යකරණයේ නිරත වූ ආරියලතා පොඩිමැණිකේ මේ වන විට සිටින්නේ රෝගාතුරවය. ඇස් පෙනීමද දුබලව සිටින ඇයට රැකවරණ සලසන්නේ ආදරණීය දියණියයි. ජීවිතයේ බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් දිරිය මවක ලෙසත්, මාධ්‍යවේදිනියක ලෙසත් ඇය කළ මෙහෙවර බුහුමනට ලක් විය යුතු නොවේද?
-රවීන්ද්‍ර මැදගෙදර
ගවයෝ ලක්ෂයක් අම්පාර කා දමති!
ගව පාලනය ගැමි ආර්ථිකයට සම්පතකි. එහෙත් එහෙත් ගවයින් සම්පතක් වන්නේ පාලනයට යටත්ව පවතින තුරු පමණකි. පාලනයකින් තොරව අයාලේ යන එළ හා මී ගවයින් යනු සම්පතක් නොව උවදුරකි. එහි රඟ අසා දැනගත හැක්කේ අම්පාරේ මංගලගම හා ඒ අවට ගම්මානවල ජනතාවගෙනි.
මංගලගම, අරන්තලාව, පියාසරගම, නුවරගලතැන්න, කොහොඹගස්තලාව, පුලුකුණාව හා කෙවිලියාමඩුව යන ප්‍රදේශවලට මෙය ඉතා තදින් බලපා ඇත.
කිසිදු වාරි පහසුකමක් නොමැති ඉහත ගම්මාන වල ගොවි ජනතාව බඩඉරිඟු, වී වැනි බෝග වගාකරනු ලබන්නේ ඊසාන දිග මෝසම් වැනි ආරම්භ වන සැප්තැම්බර් මාසයේ සිටය. වර්ෂයකට එකම කන්නයක පමණක් ගොවිතැනක් බතක් කරගෙන වැඩිම පිරිසක් ජීවත්වන මෙම ගම්වැසියන්ට ගවයින්ගෙන් ඇති වන හානි දැරිය නොහැකි පාඩුවකි.
සම්මන්තුර, කල්මුණ, මඩකලපුව ප්‍රදේශවල සිට මෙම ගවයින් මංගලගම හා අවට ගම්මානවලට ගෙනවිත් දමන අතර එම ගවයෝ දවස පුරාම නිදැල්ලේ හැසිරෙති.
මේ පිළිබඳව මංගලගම පදිංචි ටී.බී. ජයවර්ධන ගොවි මහතා මෙසේ පැවසුවේය: "එළ හා මීහරකුන් ලක්ෂයකට වැඩිය මේ ප්‍රදේශවල ඉන්නවා. ඔවුන් ගැන සොයා බලන්න කවුරුවත් නෑ. අපේ ගෙවතුවල කෙසෙල්, කවුපි, මුං, කුරහන් ආදී බෝග වර්ග විනාශ කරනවා. අපේ දුක් මහන්සියෙන් කවුපි ටිකක් හිටවා ගත්තම පැළ වුණ දවසේ ඉදලා අස්වැන්න කඩාගන්නකම් පැය විසිහතර පුරාම බලාගන්න ඕනෑ. නැත්නම් හරක් සියල්ලම කලා දමනවා. දවල්ට නම් බලාගන්න පුළුවන්. නමුත් මුළු රාත්‍රියම නිදි වරාගෙන මේවා බලාගන්න බෑ. දවසක් දෙකක්නම් කමක් නෑ. අස්වැන්න නෙලා ගන්න මාස තුනක් හතරක් යනවා. ඒ මාස තුන හතරම පුළුවන්ද රෑට නිදිවරන්න?"
නුවරගලතැන්න ගොවි සංවිධානයේ ලේකම් ඩී.එම්. පියදාස මහතාටද තිබුණේ එවැනිම කතාවකි: "අපිට කන්න දෙකක් වැඩ කරන්න කුඹුරු නැහැ. අවුරුද්දටම එක්වතාවක් තමයි වී ගොවිතැන මේ ප්‍රදේශයේ කරන්නේ. ඒ කරන්නෙත් අහස් දියෙන්. එහෙම දුක් මහන්සියෙන් කළත් හරක් නිසා පැයක් දෙකක් වගාව බලාගන්න බැරිවුණොත් විනාශයි! කියන්න කෙනෙක් නැහැ, වෙන කරන්න දෙයකුත් නෑ. කවුපි අක්කරයක් බිම් සකස් කරලා අස්වැන්න ගන්නකම් වැඩ ටික කරගන්න රුපියල් තිස් පන්දාහක් හතළිස් දාසක් විතර වැය වෙනවා. එහෙම වියදම් කරලා හරක් කෑවොත් ඔක්කොම ඉවරයි."
ඊ.එච්.එම් පද්මාවතී මහත්මිය පැවසුවේ, තමන්ට උවදුරක් වුවද මේ ගවයින් සම්පතක් කරගත් අයද ඒ පිටුපස සිටින බවයි. "අපි මොන වගාව කළත් මේ හරක් ප්‍රශ්නෙ නිසා ඒවා ආරක්ෂා කරගන්න බැහැ. මේ විනාසය කරන්නේ මඩකලපුව, කල්මුණ, සමන්තුර ආදී ප්‍රදේශවල ඉන්න ධනපතියන්ගේ හරක්. ඔවුන් ඒ හරක් බලාගන්න මාසයට රුපියල් තිස් හතළිස්දාහේ පඩියට මිනිස්සුන්ට බාරදීලා තියෙනවා. සමහරක් අය කැලේ තාවකාලිකව පැල්පත් හදාගෙන හරක් බලාගන්නවා රාත්‍රියට ගාල් කරනවා. නමුත් සමහර අය එහෙම කරන් නෑ. උදේ පාන්දර මඩකලපුවේ හරි කල්මුණේ ඉදලා හරි ඇවිල්ලා කිරි ටික දොවාගෙන යනවා. හරක් අයාලේ ගිහින් ගොවිතැන් විනාස කරනවා."
මේ පිළිබඳව මංගලගම පොලිස් ස්ථානාධිපති එස්.ඒ.සී. සතරසිංහ මහතාගෙන් විමසූ විට, ඔහු මෙසේ අදහස් දැක්වීය:
"මේ ගම්වල මිනිස්සු හැමෝම වාගේ ජීවත්වෙන්නේ ගොවිතැන් කරලා. ඒ ගොවිතැන් හරක් විනාශ කළොත් ඔවුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ මම පසුගිය දිනෙක මංගලගම පොලිස් බල ප්‍රදේශයට අයත් චෙන්කලඩි, පට්ටිපොල යන ප්‍රාදේශීය ලේකම්වරු හා ග්‍රාම නිලධාරීවරුන්, මේ හා සම්බන්ධ අනිකුත් රාජ්‍ය නිලධාරීන් හා වනජීවි නිලධාරීන් වගේම ගව හිමියන් ගවයින් බලාගන්න පුද්ගලයින් කැඳවා මේ පිළිබඳව දැනුවත් කළා. ගව පට්ටිකරුවන්ට අදාළ උපදෙස් දුන්නා. නිලධාරීන් මේ ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කළත් ගැටලුව තවමත් අවසන් නැහැ. ඊට අමතරව රාත්‍රී කාලයට මහඔය, අම්පාර ප්‍රධාන මාර්ගයේ මී හරක් නිසා රිය අනතුරු කීපයක් සිදු වුණා. අපි ඒ අවස්ථාවලදී හරක් අයිතිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළා."
මේ අනුව පෙනී යන්නේ, ගැටලුවේ බරපතළකමට සරිලන විසඳුමක් ලැබී නැති බවයි. බරපතළ ආර්ථික අර්බුදයකින් බැටකන ගොවීන්ට හරකුන් සමගත් හැපෙන්නට වීම කෙතරම් අභාග්‍යයක්දැයි බුද්ධිමත් බලධාරීන්ට නොවැටහෙන්නේ ඇයි?
මංගලගම දයානන්ද අධිකාරිගේ වාර්තාවක්.
ඉතිහාසයේ අභිරහස් සැඟවුණු රුහුණු මහා විහාරය
මහාවංසයේ රූණු මහා වෙහෙර ලෙසද, පූජාවලියේ රුහුණු මහා විහාරය ලෙසද, සමකාලීන සෙල්ලිපිවල රූණ වෙහෙර නමින්ද, ජනශ්‍රැති හා ජනප්‍රවාදයන්හි මඟුල් මහා විහාරය නමින්ද හඳුන්වනු ලැබූ රුහුණේ මහා විහාරය වූ ලාහුගල මඟුල් මහා විහාරය පානම් පත්තුවේ ප්‍රධානතම සිද්ධස්ථානයයි.
අනුරාධපුර යුගයේ රජවරුන් රජරට පමණක් නොව රුහුණු රටේද බොහෝ බෞද්ධ වෙහෙර විහාර ඉදිකොට තිබේ. ක්‍රි. ව.661 – 673 පමණ කාලයේ රජ කළ දප්පුල රජතුමා පාණ දිවයින් වැසි මහතෙරුන්ගෙන් බණ අසා සතුටුව රෝහණ විහාරය කරවා උන් වහන්සේට පුජා කළ බව මහා වංශයේ දැක්වේ.
රෝහණ නැතහොත් රුහුණු මහා විහාරය නමින් හඳුන්වා ඇති පුරාණ විහාරයක් අම්පාර දිස්ත්‍රික්කයේ පානම ලාහුගල පිහිටා තිබේ. මොණරාගල පොතුවිල් A 4 මාර්ගයේ සියඹලාණ්ඩුව හන්දියේ සිට කි.මි. 22ක් පමණ දුරකදී මුණගැසෙන පන්සල්ගොඩ හන්දියෙන් හැරී කි. මී. 1/2ක් පමණ ගිය විට මගුල් මහා විහාරය යනුවෙන් දැන් හැඳින්වෙන මෙම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි සිද්ධස්ථානය හමුවේ.
දහ හතරවන සියවසට අයත් සේ සැලකෙන පුවරු ලිපි දෙකක් මෙහි පිහිටුවා තිබේ. එක් පුවරු ලිපියක සඳහන්ව ඇති “සිරිලක්හි රජ කළ දාසෙන් කැලි රජ දරුවන් කැරැවූ මේ රූණු මහ වෙහෙර” යන පාඨය අනුව මෙය ධාතුසේන රජතුමා විසින් කරවන ලද්දක් බවට අනුමාන කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද සඳහන් කර ඇත්තේ මෙය ධාතුසේන රජතුමා කරවූ විහාරස්ථානයක් බවයි. එසේ වුවත් සෙනරත් පරණවිතාන මහතා අදහස් කරන්නේ මෙය පළමුවන දප්පුල (දාපුළුසෙන්) රජු කරවන්නට ඇති බවයි පසුකාලීනව සෙල් ලිපිය කරවද්දී දාපුළුසෙන් යන්න දාසෙන් කැලි ලෙස පැටලෙන්නට ඇති බව ඔහුගේ අදහස වී තිබී ඇත. දහ හතරවන සියවසේදී පරාක්‍රමබාහු සොහොයුරන්ගේ බිසව වූ විහාරමහා දේවිය මේ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නඩත්තුව සඳහා ඉඩම් පුජා කළ බවත් පුවරු ලිපියක දැක්වේ.
පුරාවෘතවල සඳහන් වන්නේ මෙය ක්‍රි.පූ. 205 – 162 පමණ කාලයේ රජ කළ කාවන්තිස්ස රජ සමයේ ඉදිකොට ඇති බවයි. කැලණිතිස්ස රජ මුහුදට බිලිදුන් විහාර මහා දේවිය පොතුවිල් මුහුදු මහා විහාරය ආසන්නයට නිරුපද්‍රිතව ගොඩ බට බවත්, කාවන්තිස්ස රජ ඇය විවාහ කරගත් ස්ථානයේ මේ විහාරය ඉදිකරවා ඇති බවත් පුරාවෘතවල කියවේ. එහෙයින් මේ විහාරස්ථානය මගුල් මහා විහාරය යනුවෙන් හැඳින්වෙන බව කියති.
පිළිම ගෙයක්, දාගැබක්, භික්ෂු ආවාස, උපෝශථාගාරයක් හා බෝධිඝරයක් ආදිය මෙහි ගොඩනගා තිබී ඇත.
මෙහි දක්නට ඇති එක් සඳකඩ පහනක් සුවිශේෂී එකක් ලෙස හැමගේ විශේෂ අවධානයට ලක්ව ඇත. ඒ, මෙම සඳකඩපහනේ කැටයම් කර ඇති ඇත් රූපවල ඇත් ගොව්වකුද දක්වා ඇති බැවිනි. ඇත් රූප පෙළේ සමබරතාව රැකීම සඳහා ඇත් ගොව්වා ඇතා පිට නොව ඇතුගේ පිට ප්‍රදේශයේ ආයාසයෙන් එල්ලී සිටින ආකාරයෙන් කැටයම් කර ඇති බව පෙනේ. හොටෙන් මල් දරා සිටින හංස පේළියක් හා නෙළුම් පොහොට්ටු හා කොළ සහිත ලියවැල් පේළියද අන් සඳකඩ පහන්වල නොවූ ආකාරයේ විශේෂිත කැටයමකි. මේ සියලු කැටයම් සජීවී ආකාරයෙන් කැටයම් කර තිබීම හා පිටත කවයේ ගිනි දැල් හා පලාපෙති මෝස්‌තර දක්නට නොලැබීමද විශේෂත්වයකි.
මේ ඓතිහාසික පුදබිම, තවදුරටත් ශාස්ත්‍රඥයින්ගේ ගවේෂණයට පාත්‍ර විය යුතු අතරම දැඩි අවධානයකින් යුතුව රැක ගත යුතු දායාදයකි.
ඡායාරූප: History - ඉතිහාසය Facebook පිටුවේ අනුග්‍රහයෙනි.
තල් කොළයෙන් මැවෙන රටා මැකී යා ද?
රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය සමඟ හට ගත් පීඩනය තව ම සම්පූර්ණයෙන් ම පහ ව ගොස් නැත. තම ආර්ථිකය හා ජීවිකාව සරිකර ගැනීමට ගෘහ කර්මාන්තයක් ලෙස තල්කොළ ආශ්‍රිත ව විවිධ නිපැයුම් කරන පිරිස් ද වෙයි. මෙම අය අතර බහුතරයක් දෙනා කාන්තාවන් ය.
තල් ගසේ මුල සිට අග දක්වා ඇති කොටස් විවිධ නිර්මාණ කටයුතු සඳහා ඔවුන් භාවිත කරයි. තල් ගසේ කොළ මෙම නිර්මාණ හා නිෂ්පාදනවල ප්‍රධාන මාධ්‍යය වේ.
තල්ගස ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල ය. එම පළාත් මූලික කරගෙන ගෘහ කර්මාන්තයක් ලෙස තල්කොළ ආශ්‍රිත ව විවිධ නිපැයුම් කිරීම ව්‍යාප්ත වී ඇත.
මඩකළපුව හා යාපනය යන ප්‍රදේශ මේ නිපැයුම්වලට වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි.
එවන් කාන්තාවන් පිරිසක් මඩකළපුව දිස්ත්‍රික්කයේ දී අපට හමු විය.
සිය ස්වාමියට පමණක් පවතින ආර්ථික වුවමනා පිරිමසා ලීම කළ නොහැකි බැවින් තමන් මෙම කර්මාන්තයට සදහා යොමුවූ බව මේ කාන්තාවෝ සඳහන් කළහ.
මඩකළපුවේ දිස්ත්‍රික්කයේ පුන්නකුඩා සහ එරාවුර් ප්‍රදේශවල ජීවත්වන කාන්තාවන් විශාල පිරිසක් තල්කොල කර්මාන්තයේ නිරත වුවන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේදි ඔවුන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදු ව ඇති බව එහිදී අනාවරණය විය.
එරාවුර්හි ආය්ෂා උම්මා (68) ගෘහ කර්මාන්තයක් ලෙස තල්කොළ ආශ්‍රිත ව විවිධ නිපැයුම් සිදු කරන්නියකි. ඇය පවසන්නේ වෙහෙස වී නිපැයුම් කළ ද මහන්සියේ තරමට මිලක් ලබා ගැනීම ගැටලුවක් ව ඇති බව ය.
‘’මං ජීවත් වෙන්නේ එරාවුර්වල. මගේ ස්වාමියාගේ ඔළුවට වැදුනු පහරක් නිසා එයා ඔත්පල වෙලා ඉන්නවා. අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. දැනට තල්කොළවලින් දරණු හදල විකුණනනවා. අපි මේ භාණ්ඩ හදපුවාම කට්ටිය ඇවිත් අරන් යනවා. ඒත් අපේ මහන්සියේ තරමට මිලක් ලැබෙන්නේ නැහැ. මේ කර්මාන්තයෙන් මට දවසකට රුපියල් 300 ක් විතර තමයි හම්බ වෙන්නේ. තල්කොල්වලට මුදල් ගෙවන්න ඕනේ, බඩු අරගෙන යන වාහනවලට මුදල් ගෙවන්න ඕනේ. ඒ වියදම් ගියාම අපේ අතේ මුදලක් ඉතිරි වෙන්නේ නෑ.’’
ස්මයිල් සාජි උම්මා (55) ද එරාවුර්හි වෙසෙන්නියකි. ඇය ද කලක් තිස්සේ ගෘහ කර්මාන්තයක් ලෙස තල්කොළ ආශ්‍රිත ව විවිධ නිපැයුම් සිදු කරන්නියකි.
‘’මගේ රස්සාව තල්කොළ බෑග් හදන එක. කාලයක් තිස්සේ මං මේ රස්සාව කරනවා. ඒත් වැඩි ලාභයක් නැහැ. අපි කොළ ගන්න ඕනේ තීන්ත ගන්න ඕනේ සල්ලි දීලා. මට ගැහැනු ළමයි තුන්දෙනෙක් ඉන්නවා ඒ අය කසාද බැඳලා ඉන්නේ. මං දැන් ඉන්නේ බාල දුවගේ ගෙදර. දවසට බෑග් දෙකක් විතර හදන්න පුළුවන්. හදන බෑග්වලට වැඩි මිලක් ලැබෙනවා නම් හොඳයි.’’
ඉන්දිකා ශ්‍යාමලී ( 55) ද එර්වුර් පුන්නකුඩා හි වෙසෙන්නියකි. ඇය තම වෘත්තිය ගැන පවසන්නේ මෙවැන්නකි.
‘’අපි ජීවත් වෙන්නේ තල්කොළවලින් බෑග් හදලයි. අපි තල් කොළයක් ගන්නේ රුපියල් 150 කට. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මේවා විකුණ ගන්න වෙළඳපොළක් තියෙනවා නම්. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේවා අලෙවි කර ගන්න නිසි වෙළඳපොළක් නැති එක. අපි මේවා හදල අපේ ගම් පළාත්වලට ගිහින් තමයි විකුණන්නේ.’'
කන්දසාමි විජය නීලා එරාවුර් 50 කොටසේ වෙසෙන්නියකි. ඇය තම නිපැයුම් සඳහා සිය පළාතෙන් පිට වෙළෙඳපොළක් සොයා ලන්නට සමත් ව සිටියි.
මං අවුරුදු නවයක කාලයක් තල්කොළවලින් විවිධ භාණ්ඩ හදනවා. එයින් මං දවසකට රුපියල් 2000 ක විතර ආදායමක් ලබා ගන්නවා.හදන භාණ්ඩ සතියකට වරක් කොළඹ යවලා සතියට රුපියල් 7000ක් 8000ක් විතර ගන්නවා. මං වැඩ කරන්නේ ඕඩර් අරගෙන. ඇත්තට ම මට මේ කර්මාන්තයෙන් ජීවත් වෙන්න පුළුවන්’’ යයි ඇය කියයි.
එරාවුර් කෝරලේ පත්තු ප්‍රාදේශිය ලේකම් කේ .කිරුබා මහත්මිය පවසන්නේ මෙම නිපැයුම් අලෙවි කර ලැනීම පිණිස අවශ්‍ය සහාය දෙන්නට තමන් සූදානම් බව ය.
‘’මේ පැතිවල අය තල්කොළ කර්මාන්තය දැනට සිදු කරනවා. ඒ නිෂ්පාදන විකිණිමේ වැඩ පිළිවෙළක් නැතිකමයි ගැටලුව. එයට අවශ්‍ය සහාය අපට දෙන්න පුළුවන්. අපට මේ පිළිබඳව මැදිහත් වෙන්නැයි කිසිවෙක් ඉල්ලුම් කළේ නැහැ. අපිට ඒ අය වෙනුවෙන් ස්ථානයක් හදලා අවශ්‍ය සහාය දෙන්න පුළුවන්. ඒ කර්මාන්තයේ ඉන්න අය හමුවෙන්න නිලධාරියෙක් යවන්නත් මං බලාපොරොත්තු වෙනවා.’’
තල්කොල කර්මාන්තය දියුණු කර මේ කාන්තාවන්ගේ ජීවත් වීමේ මඟ සවිමත් කරන්නට කටයුතු කිරීම කාලීන කටයුත්තක් බව පාසැල් ගුරුවරයෙක් වන ලලිත් දෙහිගොල්ල පවසයි.
‘’මේ තල්කොල කර්මාන්තය තව දියුණු කරලා එහි නියැළෙන අයගේ ජීවත් වීමේ මාර්ගය සවිමත් කරන්න කියලායි අප ඉල්ලන්නේ. සිංහල දෙමළ මුස්ලිම් කාන්තවන් මේ කර්මාන්තයේ යෙදෙනවා. මේ අයගේ මිළ ගණන් විවිධාකාරයි. ඔවුන්ගේ කර්මාන්තය එක් තැනකට ගෙනැවිත් අළෙවි මධ්‍යස්ථානයක් හදලා ඒ නිපැයුම් ප්‍රමිතිගත ව අලෙවියට කටයුතු කිරීමට වගකිව යුතු අංශ මැදිහත් විය යුතුයි. මේ තල්කොළෙන් අපිට ජාතීන් අතර සුහදත්වය පවා ඇති කරන්න පුළුවන්. මං පාසැල් ගුරුවරයෙක් හැටියට යෝජනා කරන්නේ තල් කොළෙන් ආර්ථකය සවි බල ගන්වනවා වගේම ජාතින් අතර සුහදතාව වර්ධනයටත් මේ කර්මාන්තය උපයෝගී කර ගත යුතුයි. මේ භාණ්ඩ හොඳ නිමවුමකින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් විදේශ වෙළඳපොළ පවා අපට ජය ගන්න පුළුවන්.’’
- ඩී. ජයසිංහ
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Ampara